කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි?(VIDEO)...
කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම සඳහා ඇති හැකියාව ගැන සොයා බලන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ,සංචාරක කර්මාන්තයේ ඉදිරි කටයුතු පිලිබඳ පැවැති සාකච්ඡාවකදීය.
එමඟින් විදෙස් සංචාරකයින්ට ද එය අනිවාර්ය කිරීමට හැකියාව ලැබෙන බවයි රණතුංග මහතා සඳහන් කර ඇත්තේ.
අදාළ අංශ සමඟ සාකච්ජා කර ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කළ හැකි බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබේ.
විදෙස් සමුළු හා සම්මන්ත්‍රණ, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රට තුල පැවැත්වීමට ඇති හැකියාව සොයා බලමින් පවතින බවත් ලබන වසර තුල සංචාරකයන් විශාල පිරිසක් සහභාගී වන වැඩසටහන් ගණනාවක් රට තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මෙහිදි ප්‍රසන්න රණතුංග මහතා කියා ඇත.
සංචාරක ව්‍යාපාරය යළි යථා තත්වයට පත් කිරීමෙන් රටේ ආර්ථික ක්ෂේත්‍රය නැවත ගොඩනැගිය හැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය අංශයේ පූර්ණ සහය සංචාරක ක්ෂේත්‍රයට ලබාදෙන බවටද එහිදී සහතික වී ඇත.
මේ අතර කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත සමාජයේ තෝරාගත් ස්ථානයන් සඳහා අනිවාර්යය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, එවැනි තීරණයක් ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බවය.
ප්‍රශ්නය - එන්නත් කාඩ් පත යම් යම් ස්ථානවලට අනිවාර්ය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා ද?
"මේක සාකච්ඡා වෙමින් පවතිනවා. නමුත් මේක මම කලිනුත් කියලා තියෙනවා මේකේ තියෙන ප්‍රායෝගික තත්ත්වය.
මෙම ලබාදී ඇති එන්නත් කාඩ් පත ප්‍රායෝගිකව එවැනි කාර්යක් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ද? එවැනි දෙයක් කිරීමට අපිට නීතිමය වශයෙන් කොයි ආකාරයේ හැකියාවක් ද තියෙන්නේ.
සමහර වෙලාවට පුද්ගලයින්ගේ අයිතීන් පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා වෙනවා.
මේවා ආමන්ත්‍රණය කරමින් තමා මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ.
අවශ්‍ය කරන විදියට වාතාවරණය ගොඩනැඟුණොත් සමහර විට ඉදිරියේ දී ඒක ක්‍රියාත්මක වේවි.
නමුත් නුදුරු අනාගතයේ එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න තීරණයක් ගෙන නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |