කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි

Covid srilanka sri lanka
By Sithumi Jun 10, 2021 11:47 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ජ

නගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියයි..

රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් නොපෙනෙන බව කී වෛද්‍යවරයා සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයැයි ද සඳහන් කළේය.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා මහතා කියයි. 

ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දුන්නේය.

මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය. 

 එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් ගෙන නැතැයි කී වෛද්‍යවරයා ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි යන්න ගැටලුවක් බවද කීවේය. 

 වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවද නවීන් සොයිසා මහතා සඳහන් කළේය.