දෛනික කොවිඩ් දත්ත වැරදියි? තවත් දිස්ත්‍රික්ක තුනක කොවිඩ් දත්තවල පරස්පරතා

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 17, 2021 02:40 PM GMT
Sithumi

Sithumi

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තාවල අවුල්සහගත තත්ත්වයක් කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවල ද අවුල්සහගත තත්ත්වයක් වාර්තා වේ. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව අගෝස්තු 9 වැනිදා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව ආසාදිතයින් 321ක් හඳුනාගෙන තිබේ.

පසුගිය 10 වැනිදා වසංගත රෝග විද්‍යා අංශය ආසාදිතයින් 61ක් වාර්තා කරන විට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 263ක් වාර්තා කරයි. පසුගිය 11 වැනිදා ද වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගත් බව සඳහන් කළද එදින කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ සඳහන් වන්නේ ආසාදිතයින් 204ක් ලෙසය. 

 එමෙන්ම 12 වැනිදා වසංගත රෝග විද්‍යා අංශය ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා කරද්දී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 300ක් හඳුනාගෙන තිබේ. එසේම 13 වැනිදා ආසාදිතයින් 02 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරද්දී දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ ආසාදිතයින් 372ක් ලෙස සටහන් වේ. පසුගිය 14 වැනිදා ආසාදිතයින් 8 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරද්දී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රෝගීන් 179ක් හඳුනාගත් බව වාර්තා කරයි.

පසුගිය 15 වැනි දා ද ආසාදිතයින් 42ක් වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වන විට කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වාර්තා කරන රෝගීන් ගණන 226කි. විමතියට කරුණ නම් පසුගිය 16 වැනිදා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වන ආසාදිතයින් ගණන 13ක් වෙද්දී කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ ආසාදිතයින් 505ක් ලෙස ඉහළ අගයක් ගැනීමය. මේ අතර ඌව පළාතේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාලේඛන ද අවුල්සහගත බව අද පැවති ඌව පළාත් කොවිඩ් රැස්වීමේදී අනාවරණ විය. 

 පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම රැසිවීමේදී හෙළි වූයේ ගෙවුණු පැය 24 තුළ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති තොරතුරු සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අතර පරස්පරතාවක් ඇති බවය. 

 වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව රෝගීන් 10 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ විට පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති රෝගීන් ගණන 298කි. එසේම මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරන විට ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති රෝගීන් ගණන 440කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now