කොවිඩ් වලින් පසු සති 2ත් 06ත් ඇතුලත වැළදෙන දරුණු රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්.

Covid Sri Lanka Richway children hospital
By Aruna Oct 15, 2021 07:04 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන "මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම්" නැමති රෝගී තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

අද (15) දින මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, එම රෝගී තත්ත්වය දරුවන්ගේ විවිධ අවයව ගණනාවක ට බලපෑම් එල්ල කරන බවය.

කොරෝනා රෝගය වැළඳී සති 2ක් හෝ 6ක් ගතවූ පසුව මෙම රෝගී තත්ත්වය ඇති වේ.

මේ වන විටත් එම රෝගී තත්ත්වයට පත්වූ දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පමණක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එවැනි දරුවන් 78 දෙනෙක් ප්‍රතිකාර ලබා ඇති බවත් ඉන් දරුවන් සිව්දෙනෙක් මියගොස් ඇති බවත් පැවසු විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා එම රෝගය ආසානය වූ දරුවන් 150කට පමණ ප්‍රතිකාර කර ඇතැයි ද පැවසීය‍.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා, "පසුගිය දින පහ ඇතුළත මේ රෝගය වැළඳුන දරුවන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස මියගියා. මේක තමයි බැරෑරුම් තත්ත්වය.

ලෝකය පුරාම මේ තත්ත්වය අපි දකිනවා. කොරෝනා රැල්ලකට පසුව "මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම්" රැල්ලක් MIS - C රැල්ලක් බොහෝ රටවල දක්නට ලැබිලා තියෙනවා.

මේ තත්ත්වය අපි හඳුනාගත යුතුයි. එහි වැදගත්කම වන්නේ මෙයට බෙහෙත් තියෙනවා.

අපි කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් රෝගීන් ගළවා ගැනීමට හැකියාව තියෙනවා.

නිසිකලට නිසි ප්‍රතිකාර නොලැබුණොත් රෝගීන් මියයනවා.

මේ රෝගයේ දී සිද්ද වෙන්නේ කොරෝනා රෝගයට විරුද්ධව අපේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ අපේ ම ඇඟේ අවයවවලට විරුද්ධව ක්‍රියාකාරී වීමයි.

එහි බැරෑරුම් ම තත්ත්වය තමයි හෘදය වස්තුවට විරුද්ධව ක්‍රියාකාරී වෙලා හෘද වස්තුව අකර්මණ්‍ය වෙලා රුධිර පීඩනය අඩුවෙලා ඒ දරුවන් මියයනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now