සම්පත් මනම්පේරිට නැවතත් දින 90ක රැඳවුම් නියෝගයක්
අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීමේ චෝදනාවට කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තා තවත් දින 90ක් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගැනීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
එමෙන්ම මෙම නඩුවේ අනෙක් සැකකරුවකු වන පියල් මනම්පේරි එළැඹෙන ජනවාරි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කර තිබුණි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය නියෝජනය කළ උප පොලිස් පරීක්ෂක V.F.S. පෙරේරා මහතා සඳහන් කළේ, සම්පත් මනම්පේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත්, ඒ අනුව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා වැඩිදුර කරුණු අනාවරණය කරගැනීමට ඔහු තවදුරටත් රඳවා තබාගැනීම අවශ්‍ය බවත්ය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ජයලත් මහතා එයට විරෝධය පළ කරමින්, මෙතෙක් සිදු කළ විමර්ශනවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගත් වාහන තුන මෙම සිද්ධීන්වලින් උපයාගත් වත්කම්ද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එමෙන්ම සැකකරුට එරෙහිව තවත් දින 90ක රැඳවුම් නියෝගයක් ලබාදෙන අවස්ථාවේදී නීතිඥවරුන්ට සහ පවුලේ සාමාජිකයින්ට ඔහු හමුවී උපදෙස් ලබාදීමට අවසර ලබාදෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.