දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ අභිරහස නැවත මතු කරමින් ඉන්දියාව පෙරට [VIDEO]
2022 දී සිදු වූ ශ්‍රී ලාංකික ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය වටා ඇති අද්භූත තත්ත්වයන් නැවත මතු කරමින් ඉන්දියාවේ WION නාලිකාවේ Prime Crime වැඩසටහනේ විශේෂ කොටසක් මෑතකදී විකාශය කෙරිණි.
මෙම ඝාතනයට අදාළ සිදුවීම්, සැකකරුවන් හඳුනාගැනීමේ බාධක සහ නඩුව ඉදිරියට ගෙන යාමේ අභියෝග පිළිබඳව මෙම වැඩසටහනේදී සාකච්ඡා කෙරුණි.
2022 දෙසැම්බර් මස සිදු වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවමත් ශ්‍රී ලංකාවේ විසඳී නොමැති ප්රමුඛ අපරාධ අතරින් එකකි.
පුළුල් මහජන අවධානයක් සහ අඛණ්ඩ පරීක්ෂණ තිබියදීත් සිද්ධියෙන් වසර තුනක් ගත වී ඇතත්, වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට පොලිසියට හැකි වී නොමැත.
WION නාලිකාවේ මෙම විශේෂ වැඩසටහන හරහා මෙම නඩුව කඩිනමින් සක්‍රිය කර වගකිවයුත්තන්ට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව තීව්රව අවධාරණය කෙරේ.
වයස අවුරුදු 52ක් වූ දිනේෂ් ෂාෆ්ටර් 2022 දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල සාමාන්‍ය සුසාන භූමියේදී තම මෝටර් රථය තුළ රියදුරු ආසනයේ දෑත් බැඳ තිබියදී සොයා ගෙන තිබුණි. පසුදා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියේය.
අධිකරණය විසින් මෙය ඝාතනයක් ලෙස තහවුරු කර තිබුණද, තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට නොහැකි වී තිබීම මෙම සිදුවීමේ අභිරහස තවදුරටත් ගැඹුරු කර තිබේ.