“කොරෝනා මරණ ආදාහනය ගැන තනි තීන්දු ගන්නේ නෑ....මානව හිමිකම් කඩවෙලා නම් සාධාරණයක් කරනවා”
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ අනිවාර්ය ආදාහනය කිරීම වහා අත්හිටුවන්නැයි ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට දැනුම් දෙනවා.
එහි මානව හිමිකම් පිලිබඳ විශේෂඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් මෙරට වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ඇතුලු සුලු ජාතීන්ගේ අයීතීන් උල්ලංඝණය වන බවයි.
එමගින් ජාතීන් අතර විරසකභාවය තවත් ඉහළ යා හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා.
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ භූමදානය හරහා වෛරස ව්‍යාප්තියක් සිදුවන බවට ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසිදු රටක් මේ වනතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුලු වගකිවයුතු සංවිධාන රැසක්ද එය සාධක සහිතව ඔප්පු කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගේ ස්ථාවරය වී තිබෙනවා.
කොරෝනා මරණ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා පත්කල ප්‍රධාන කමිටුවේ වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධියට පත්වනු ඇතැයිද එක්සත් ජාතීන් විශ්වාසය පළකරනවා.
එබැවින් වෛරසය ආසාධනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර අනිවාර්යයෙන් ආදාහනය කිරීම වහා නතර කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අවධාරණය කර සිටින්නේ.
පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටියා.
ඔහු සඳහන් කලේ රජයේ කැමැත්ත මත පමණක් තනි තීන්දුවක් ගත නොහැකි බවයි.
මේ අතර ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත වාර්තාවට අදාළව රජයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද මෙහිදී විමසීමක් කෙරුණා.
ඊට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කලේ යුධ සමයේ කිසියම් පාර්ශවයකට අගතියක් සිදුවී ඇත්නම් ඊට සාධාරණයක් කිරීමට රජය සූදානම් බවයි.
ජනාධිපතිවරයා විසින් දින කිහිපයකට පෙර ත්‍රිපුද්ගල කොමිසමක් පත්කරනු ලැබුවේද ඒ අරමුණ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.