ලාෆ්ස් ගෑස් මිල වැඩි කළේ ඇයි? - සිලින්ඩරයකට අමතර පිරිවැයක් එකතු වූ හැටි සමාගම හෙළිකරයි
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම, නැව් ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු වැඩිවීම සහ විනිමය අනුපාත වෙනස්වීම හේතුවෙන් ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සමාගමේ අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.
මෙම මිල සංශෝධනයෙන් සමාගම අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, එමඟින් සිදුකර ඇත්තේ පිරිවැය ඉහළ යාම පියවා ගැනීම පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
ගෑස් සිලින්ඩරයක මිල තීරණය කිරීමේදී බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞදි අරාම්කෝ සමාගම සෑම මාසයකම ආරම්භයේදී ප්‍රකාශයට පත් කරන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වසර ආරම්භයේ සිට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එක්වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා
එමෙන්ම යුදමය තත්ත්වය හේතුවෙන් ගෑස් ප්‍රවාහනයට අදාළ නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා සිලින්ඩරයකට තවත් රුපියල් 417ක පිරිවැයක් එකතු වී තිබේ. විනිමය අනුපාතවල වෙනස්වීම් හේතුවෙන් ද රුපියල් 299ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
මීට අමතරව, අදාළ මිල සංශෝධනයට සියයට 18ක වැට් බද්ද ලෙස රුපියල් 256ක් සහ බැංකු ණය හා ණයවර ලිපි (LC) හරහා ගෑස් මිලදී ගැනීමේදී දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය ලෙස රුපියල් 90ක් ද ඇතුළත් වන බව ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව මෙම සියලු පිරිවැය සැලකිල්ලට ගත් විට සිලින්ඩරයක මිල රුපියල් 1,769කින් ඉහළ දැමීමට සිදුවන බවත්, සමාගම විසින් මිල සංශෝධනය යටතේ රුපියල් 1,775ක වැඩිවීමක් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ හෝ අමතර ලාභයක් උපයා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන නොමැති බව ද නලින්ද කුරුකුලසූරිය මහතා අවධාරණය කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට මෙන්ම ණය ලබාදී ඇති බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට ද සමාගම වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සිදුකර ඇත්තේ සමාගමේ ඉහළ ගිය පිරිවැය පියවා ගැනීමේ අරමුණින් මිස අමතර ලාභයක් ලබා ගැනීමේ අරමුණින් නොවන බව එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.