ශ්‍රීලංකන් ගුවන් සේවය උඩුයටිකුරු කරන්න අලුත් සැලැස්මක් - යළි ලාභ ලබන තැනට ගෙන ඒමට පස් අවුරුදු වැඩපිළිවෙළක්!

Report

මූල්‍ය අර්බුදය, ගුවන් ගමන් ප්‍රමාදයන් සහ ණය බර ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය යළි ලාභදායී මට්ටමකට ගෙන ඒම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය සහ එම ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කිරීමේදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති එම රැස්වීමේදී ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 23ක සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම යානා වසර 12ක් පමණ පැරණි වීම හේතුවෙන් මතුව ඇති මෙහෙයුම් ගැටලු පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

එක් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් හේතුවක් මත ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමට පවතින සීමාවන් හේතුවෙන් සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බව ද මෙහිදී අනාවරණය වී ඇත.

ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා

ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා

එමෙන්ම නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ හේතුවෙන් ඇති වූ දිගු ප්‍රමාදයන් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙම ගැටලුවලට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති අතර, එය ගැසට් කිරීම සඳහා ද කටයුතු සූදානම් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.

ප්‍රසම්පාදන කටයුතු සෘජුව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ. නව මාර්ගෝපදේශ යටතේ ගුවන් යානා සංචිතය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිඩ්-බොඩි ගුවන් යානා දෙකක් එක්කර ගැනීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම 2029 වසර වන විට ගුවන් යානා සංචිතය අවම වශයෙන් යානා 29ක් දක්වා ඉහළ නැංවීම ද පස් අවුරුදු සැලැස්මේ ප්‍රධාන ඉලක්කයකි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව ද මෙහිදී පැහැදිලි කර ඇත.

ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ඇතුළු ඩිජිටල් පෙරළියකට ශ්‍රී ලංකාව සැරසෙයි - කසකස්තානය සමඟ විශේෂ සාකච්ඡාවක්!

ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ඇතුළු ඩිජිටල් පෙරළියකට ශ්‍රී ලංකාව සැරසෙයි - කසකස්තානය සමඟ විශේෂ සාකච්ඡාවක්!

ඊට අමතරව ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කිරීම, ඉන්ධන පිරිවැය පාලනය සහ ආදායම් ඉහළ නැංවීම සඳහා නව වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ගුවන් සේවයේ මෙහෙයුම් හා ආදායම් කෙරෙහි බලපාන අභියෝග ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය පත් කළ කමිටුව නව ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීම හෝ රජය යටතේම පවත්වාගෙන යමින් පිරිවැය පියවාගත හැකි තත්ත්වයකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලමින් සිටින බව ද සඳහන් විය.

ඒ අනුව, ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස අදාළ බලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දී තිබේ.  

අයවැයෙන් තමන්ව නොසලකා හැර ඇති බව රාජ්‍ය අංශයක් කියයි - දීමනා , යතුරුපැදි ලබා දීම් වැනි කිසිඳු සැලකීමක් අයවැයෙන් කර නැහැ

අයවැයෙන් තමන්ව නොසලකා හැර ඇති බව රාජ්‍ය අංශයක් කියයි - දීමනා , යතුරුපැදි ලබා දීම් වැනි කිසිඳු සැලකීමක් අයවැයෙන් කර නැහැ