කොළඹ අධිකරණයේ කොටසක් කඩා වැටෙයි - අද අධිකරණ කටයුතු නවතී - වාහන ඇතුළු කිරීම තහනම්
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ ගොඩනැගිල්ලක කොටසක් 29 දින රාත්‍රියේ කඩා වැටී ඇත. කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම පැවසුවේ ඒ හේතුවෙන් පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇති බවයි.
එමෙන්ම ඔහු දැනුම් දී ඇත්තේ අද දිනයේ අධිකරණ කටයුතු ද ක්‍රියාත්මක නොවන බවයි. ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බැවින් කිසිදු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ඇතුළු නොවන ලෙස කොළඹ නීතිඥ සංගමය දැඩි ලෙස අවවාද කර ඇත. අද දිනයට නියමිතව තිබූ සියලුම නඩු විභාග 2026 සැප්තැම්බර් 30 වනදා කැඳවීමට නියමිත බවද සඳහන් වේ.
එමෙන්ම වාරණ නියෝග දීර්ඝ කර ගැනීමට අවශ්‍ය පාර්ශ්වයන්ට රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඒ සම්බන්ධ කටයුතු සිදුකර ගත හැකි බවද කොළඹ නීතිඥ සංගමය දැනුම් දී තිබේ.
ඉදිරි සංවර්ධන කටයුතු සහ අධිකරණ කටයුතු යළි පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද කොළඹ නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.