ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත් CI අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලයක පළ වූ යතුරුපැදි විකිණීමේ දැන්වීමක් උපයෝගී කරගනිමින් තරුණයෙකු බිය ගන්වා රුපියල් 246,000ක කප්පම් මුදලක් ලබාගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
ඒ අනුව සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීට පෙර දේශපාලනඥයෙකුට එරෙහි පරීක්ෂණයක් හේතුවෙන් කොළඹින් රත්නපුරයට ස්ථාන මාරු ලැබ සිටි අයෙක් බව සඳහන්.
වාර්තා වෙන ආකාරයට අනුව, කුරුවිට ප්‍රදේශයේ තරුණයෙකු 1000cc වර්ගයේ යතුරුපැදියක් විකිණීමට ඇති බවට 'වට්සප්' සමූහයක පළ කළ දැන්වීමක් දුටු සැකකරු, තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් එම නිවසට ගොස් ඇත.
එහිදී යතුරුපැදියේ නීතිමය ප්‍රශ්න ඇති බව පවසා තරුණයාගේ පියා බිය ගන්වා ඇති සැකකරු, රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.
පසුව එම මුදල ලක්ෂ 3 දක්වා අඩු කරගෙන ඇති අතර, රුපියල් 246,000ක මුදලක් ලබා ගැනීමෙන් පසුව ද දිගින් දිගටම දුරකථනයෙන් බලපෑම් කර ඇත.
තරුණයාගේ පියා උසස් පොලිස් නිලධාරියෙකුට කළ දැනුම් දීමකට අනුව, සබරගමුව සහ රත්නපුර උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
CCTV දර්ශන ඇතුළු සාක්ෂි පදනම් කර ගනිමින් රත්නපුර විශේෂ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කළ සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද (02) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.