පොලිස් කොස්තාපල්වරුන් 280 දෙනෙකු සාඩම්බරයෙන් විසිර යයි
අභිමානවත් පොලිස් සේවයට ඔබ අතරින්ම එක්වූ ජවසම්පන්න තරුණයින් 280දෙනෙක් නිලධාරීන් සාඩම්බරයෙන් විසිර ගොස් තිබේ.
ඒ අනුව මාස 08 කට ආසන්න කාලයක් කළුතර පොලිස් විදු මව් සෙවණේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225දෙනෙක් සහ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු 55දෙනෙක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත 2026.04.03 වන අද දින සාඩම්බරව විසිර ගොස් ඇත.
විසිරයාමේ උළෙල මෙදින සවස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වුනි.
පොලිස් කොස්තාපල්වරුන් හා කොස්තාපල් රියදුරු නිලධාරීන් 280 දෙනෙකුගෙන් සමන්විත වූ ඇණි 10 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ නෙදර්ලන්ත බීච් වේලී අසුපිට නැගි ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රුචිර කරුණානායක මහතා විසින් වේ.
ඒ වගේම දෙවන අණදෙන නිලධාරීවරයා ලෙස ඇල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පාලන ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලාන් ඔසඳ මහතා කටයුතු කරන ලදී.
සම්මාන පෙළපාලිය නිමාවීමෙන් අනතුරුව පුහුණුකාලය තුල කැපී පෙනෙන අයුරින් විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීන් උදෙසා කාණ්ඩ 05 ක් යටතේ ත්‍යාග සහ සහතිකපත් ගරු අමාත්‍යතුමන්ගේ සහ පොලිස්පතිතුමන්ගේ සුරතින් පිළිගැන්වුනි.
*අති දක්ෂතම පොලිස් කොස්තාපල් - 107968 ඒ.එම් ඖෂධ විශ්වනාත් සෙනෙවිරත්න
*අති දක්ෂතම ආධුනික කොස්තාපල් රියදුරු - 108106 එ.එම්. ගයාන් මදුරංග හේරත්
*නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික නිලධාරී - 107985 ආර්.එම්.ඩී.එස් සේනාරත්න
දක්ෂතම වෙඩික්කරු - ආධුනික පොලිස් කොස්තාපල් 108087 ඩබ්ලිව්.අයි.එස් බණ්ඩාර
*හොඳම රියදුරු - 108104 ආර්.එම්.එස්.ටී.ඩී ලංකා
නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කරමින් පොලිස් සේවයේ යහපත් වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කරමින් අභිමානවත් පොලිස් සේවයේ විනයානුකූල නිලධාරීන් ලෙස මහජනාවට අවංකව සේවය කිරීමට කැපවන ලෙස උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කර තිබේ .