දැඩි වද හිංසා කර පිළිස්සුම් තුවාල සහිතව දියණියක් කුකුල් කූඩුවේ දැමූ පියා සහ නැන්දා

Sri lanka covid 19 Corona virua Child harresment
By Sithumi Jul 25, 2021 02:01 PM GMT
Sithumi

Sithumi

Report

නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය‍ගේ නැන්දණිය ලබන 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, දැරියගේ පියා ශරීර ඇප මත මුදා හැරුණි. නොරොච්චෝල, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මීට වසර 13කට පෙර අවුරුද්දක් වයසැති සිය දියණිය දේවාලයක් පවත්වාගෙන යන තම සහෝදරියකට ලබාදී තිබුණේ හදා වඩා ගැනීම සඳහාය. 

 කෙසේවෙතත්, දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබානොදෙමින් නැන්දණිය විසින් වසර 2ක පමණ කාලයක් ඇයව දරුණු වධ හිංසනයන්ට නිරන්තරයෙන් ලක්කර තිබුණි. වයස අවුරුදු 14ක් වන එම දැරියව වධ හිංසනයට ලක්කර, දම්වැලකින් බැඳ, කුකුල් කූඩුවක සිරකර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය පසුගිය සිකුරාදා ඇය සොයා ගනු ලැබීය. 

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවීම හා සිදුවී තිබූ තුවාල හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු දැරියට රුධිරය ලබා දීමටද රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි. පොලීසිය සඳහන් කළේ, දැරියගේ සිරුර පුරා දරුණු පිලිස්සීම් තුවාල සහ හිසේ ස්ථාන කිහිපයකම දරුණු මට්ටමේ තුවාල නිරීක්ෂණය වූ බවය. එමෙන්ම නිසි ලෙස ආහාර පවා නොලැබූ ඇය අසල්වැසි නිවෙස්වලින් ආහාර සොරාගැනීම හේතුවෙන් ද විවිධ පහරකෑම්වලට ලක්ව තිබුණි . 

 කෙසේවෙතත් තමන්ට මුහුණ පෑමට සිදුවූ මෙම වධ හිංසනයන් පිළිබඳව දැරිය දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි. "කවුරුත් ගැහුවේ නෑ. මුකුත් වුණේ නෑ. කවුරුත් බය කළේ නෑ. මේ තුවාල කම්බියට සීරිච්ච ඒවා." පොලීසිය සඳහන් කළේ, දැරියගේ සත්කාර කටයුතු වෙනුවෙන් රෝහලට පැමිණ සිටි මිත්තණිය ද අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. පොලීසිය සඳහන් කළේ, දැරියට නොසළකා හැරීම යන චෝදනාව මත මවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.