චිකුන් ගුන්යා මෑත කාලයේ බරපතලම මට්ටමට!
ක්ලීන් ශ්‍රී ලංකා ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් තිබියදී, මෙරට චිකුන් ගුන්යා වසංගතය මෑත කාලයේ ඉහළම මට්ටමට වර්ධනය වී තිබෙනවා. මේ අතර ඩෙංගු වසංගතයේත් දැවැන්ත වැඩි වීමක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව චිකන්ගුන්යා වෛරසයේ ප්‍රධාන ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවත්, එය වසර 20කට ආසන්න කාලයකින් පසු ඇති වූ දරුණුතම නැවත මතුවීම බවත් ප්‍රකට වෛරස් විද්‍යාඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබෙනවා.
ඇය මේ බව පෙන්වා දී තිබුණේ, මෑතකදී සිදුකළ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින්. medRxiv හි පළ කරන ලද අදාල පර්යේෂණ වාර්තාව පර්යේෂකයන් 14 දෙනෙකු සකස් කර තිබුණා. එයට ආනන්ද විජේපාල, මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු මෙරට සහ ජාත්‍යන්තර විද්වතුන් ඇතුළත් වෙනවා.
භාවිතයෙන් සිදු කරන ලද සම්පූර්ණ ජාන අනුක්‍රමණය මගින්, ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය දකුණු ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල දක්නට ලැබෙන ප්‍රභේදවලට සමාන, ඉන්දියානු සාගර කලාපීය පරම්පරාවට අයත් වෛරස් ප්‍රභේදයක් බව මලවිගේ මහත්මිය පෙන්වා දී තිබෙනවා.
“2024 වසර අවසානයේ සිට ක්‍රියාත්මක මෙම වසංගත තත්වය වසර 16ක ප්‍රධාන සම්ප්‍රේෂණයකින් තොර කාල පරිච්ඡේදයකට පසුව, ශ්‍රී ලංකාව අත්විඳින ලද විශාලතම වසංගත ව්‍යාප්තිය බව” මහාචාර්ය මලවිගේ සඳහන් කර තිබුණේ, අදාල වාර්තාවෙහි ඇති කරුණු මත පදනම් වෙමිනුයි.
මේ අතර තම නිවාස සහ කාර්යාල අවට පරිසරය මදුරුවන් බෝ වියනොහැකි ලෙස පවත්වාගෙන යන ලෙසත්, අවම වශයෙන් සතියකට එක් දිනක පැයක කාල සීමාවක් හෝ වෙන්කර තම නිවාස / කාර්යාල පරිශ්‍ර පරීක්ෂා කර එම ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මඳුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ද, හඳුනා ගැනීමට හැකි වූ බව. ඊට අමතරව මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට ද, නිතී මඟින් ක්‍රියා කිරීමට ද පියවර ගන්නා ලද බව එම නිවේදනයේ සඳහන්. මැයි 19 වැනිදා සිට 24 දක්වා දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95ක් කේන්ද්‍ර කරගනිමින් මෙම මදුරු මර්දන වැඩසටහන දියත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවාස 119,677, පාසල් 257, වෙනත් අධ්‍යාපන ආයතන 304, රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025, ඉදිකිරීම් පරිශ්‍ර 700, කර්මාන්ත ශාලා 195, පොදු ස්ථාන 263, ආගමික සිද්ධස්ථාන 514, අනෙකුත් ස්ථාන 1100 ඇතුළත්ව පරීක්ෂා කළ මුළු පරිශ්‍රයන් ගණන 128,824ක් බව ඔවුන් සඳහන් කර තිබෙනවා.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) නිලධාරියෙක් ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර තිබෙන්නේ, පොදු සහ අවධානයට ලක් නොවූ පෞද්ගලික ඉඩම්වල ඇති මදුරු බෝවන ස්ථාන ඉවත් කරන ලෙසට පළාත් පාලන ආයතනවලට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බව. ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් මධ්‍යයේ වුවද, කොළඹ මහ නගර සභා (CMC) බල ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩම් කිහිපයක් කසළ දැමීමේ ස්ථාන බවට පත්ව, මදුරුවන්ට බෝවීම සඳහා සුදුසුම පරිසරයක් නිර්මාණය කරමින් පවතින බව ඩේලි මිරර් වාර්තා කර තිබෙනවා.
ඒ, ස්ථානීය පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් බවද එම පුවත්පත සඳහන් කරනවා. මේ අතර, බීබීසී වෙත අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මෙම වසංගත තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. “චිකුන්ගුන්යා ශ්‍රී ලංකාවේ 1960 ගණන්වල වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 2006, 2007 සහ 2008 කාලවලදී වාර්තා වුණා. ඊට පස්සේ පර්යේෂණ කටයුතුවලදී අපට අඩු රෝගීන් ගණනක් හමුවෙලා තියෙනවා. ඊට පස්සේ 2024 අග භාගයේ ඉඳලා තමයි අපට මේ විදිහට රෝගය ගැන වාර්තා වෙන්නේ,” යනුවෙන් ඇය විස්තර කළා. “ඩෙංගුවල වෛරස 4ක් තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ එක වෛරසයයි.
එතකොට මේ වෛරසයට තියෙන ප්‍රතිශක්තිකරණය නැතිවුණා ම වෛරසය මතු වෙනවා. 2006 සිට 2008 දක්වා කාලයේදී සමහර අයට ඒ ප්‍රතිශක්තිකරණය ලැබුණා.” ඇය වැඩිදුරටත් කියා තිබෙනවා. “මේ රෝගවල හැටියක් තියෙනවා ඒවා කාලයකට සැරයක් තමයි වසංගතයක් විදිහට එන්නේ. ඒක ඩෙංගු රෝගයේත් තියෙනවා.
අවුරුදු ගානක් ගිහින් තියෙනවනේ. එතකොට අලුත් පරම්පරාවක් හැදිලා තියෙනවා. ඒ වගේ ම ඒ කාලවකවානුවේදී රෝගය හැදිච්ච නැති අයත් ඉන්නවා. ඒ වගේ වෙලාවට රෝගයට නතුවෙන්න හේතුවෙන්න පුළුවන්,” යනුවෙන් වෛද්‍යවරිය පෙන්වා දී තිබෙනවා.
චිකුන් ගුන්යා තත්වය හඳුනාගත් පසු ප්‍රතිකාර ලබා දිය හැකි අතර මෛම රෝගී තත්වය මාරාන්තික නොවන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ගැබිණි තත්වයේ සිටින පුද්ගලයන් සහ වෙනත් දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, වියපත් පුද්ගලයන් ඇතුළු අය උණ තත්වය සමඟ රෝග ලක්ෂණ හඳුනාගත් විගස රෝහල්වලට පැමිණීම වැදගත් බවත් පෙන්වා දෙනවා.
