විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
2026 වර්ෂයේ අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, දෙවනවර කියවීම (අයවැය කතාව) 2025 නොවැම්බර් 07 වැනිදා සිදුකිරීමටත් ඇතුළු පාර්ලිමේන්තු රැස්වීම් වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩසටහන අග්‍රාමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතේ රැස්වීම් සඳහා වැඩසටහන සකස් කර ඇත.
වැඩසටහනට අනුව, දෙවනවර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් 08 සිට 14 දක්වා පැවැත්වෙන අතර, තෙවනවර කියවීමේ (කාරක සභා අවස්ථා) විවාදය 2025 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා සිදුකිරීමට නියමිතය. අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම 2025 දෙසැම්බර් 05 වැනිදා සිදු කිරීමට ද තීරණය වී ඇත.
මෙම වැඩසටහන රටේ ආර්ථික සැලසුම්කරණයේ තීරණාත්මක අංගයක් ලෙස සැලකෙන අතර, 2026 අයවැය රජයේ ඉදිරි ආර්ථික හා සංවර්ධන ඉලක්ක සපුරාලීමට මඟ පාදනු ඇතැයි බලාපොරොත්තු වේ.