ලංකාවට කිරි උතුරවන්න ජපාන රජයෙන් උදව්වක්
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සැපයීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයෙන් ආධාර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව පදනම් කරගනිමින්, ජපාන රජය විසින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් මිලියන 463ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට ආරක්ෂක සහාය සැපයීම සඳහා ජපන් යෙන් මිලියන 500ක් ඇතුළු එකතුව ජපන් යෙන් මිලියන 963ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිතය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ඩ්‍රෝන යානා සැපයීමට ආරක්ෂක ව්‍යාපෘතිය යටතේ ආධාර ලබා දෙනු ඇත.
මෙම ව්‍යාපෘතිවලට අදාළ හුවමාරු පත්‍ර සහ ලියවිලි ජනාධිපතිවරයාගේ ඉදිරියේදී ජපානයට සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුර අත්සන් තැබීමට නියමිතය. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, මෙම ආධාර යොදවා ඉදිරි පියවර ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම ආධාර මගින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමත්, නාවික හමුදාවේ ආරක්ෂක ධාරිතාව ශක්තිමත් කිරීමත් තුලින් රටේ ආර්ථික හා ආරක්ෂක ස්ථාවරත්වයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.