තෙල් කන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Businessman
By Aruna Feb 02, 2023 02:00 AM GMT
Aruna

Aruna

Report

මිනිස් පරිභෝජනයට නුසුදුසු කෑම පිසීමට ගන්නා කල් ඉකුත් වූ තෙල් රේගුවේ නිලධාරින්ගේ සහායෙන් පිටතට ගෙන රටපුරා විකිණූ බව කියන ජාවාරමක් ගැන විශේෂ විමර්ශනයක් ඇරඹී තිබෙනවා.

මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත බව පවසමින් රැගෙන ආ කැනෝලා වර්ගයේ කෑම පිසීමට යොදාගන්නා තෙල් ලීටර් 51,600 ක් සඟවා තිබූ තෙල් ගබඩාවක් රිදිගමින් හමුවීමෙන් පසුවය.

රිදිගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත රිදිගම, පානගමුව, අන්නුර්පුර පිහිටි පොල්තෙල් ගබඩාවක් වටලා මේවා අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

පානගමුව, අන්නුර්පුර අංක 130 ඒ දරන ස්ථානය වටලා ඉල්ලියාස් මොහොමඩ් නමැති ව්‍යාපාරිකයකු සමග මෙම තෙල් තොගය භාරයට ගෙන තිබේ.

තෙල් ගබඩාව තුළ ලීටර් දහය බැගින් වූ කෑන් 5160 ක් තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම තෙල් ගබඩාව භාර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙය සබන් නිෂ්පාදනය සඳහා රැගෙන යෑමට නියමිතව තිබූ බවය.

වරායෙන් මෙම තෙල් කෑන් අඩංගු කන්ටේනර් තුනක් රැගෙන ආ බව මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇතත් කිසිදු පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව වැටලීම කළ නිලධාරීහු පවසති.

මෙහි තිබූ ලීටර් දහයේ බෝතලයක් රුපියල් නවදහස් නවසිය අනූනවයකට (9,999) මිල කර විදෙස් රටකින්ම ලේබලය ගසා රැගෙන විත් ඇතැයි විමර්ශකයන් පවසයි.

එම තෙල් කෑන්වල ඉහළින් කල් ඉකුත්වන දිනය සඳහන්ව ඇති බව සටහන් කර ඇතත් එහි එවැනි දිනයක් තිබී නොමැත.

භාණ්ඩ මිලදී ගත් බව සඳහන් බිලක්වත් ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.

මෙහිදී කෑන්වල තිබූ තෙල් බැරල්වලට එක්රැස් කරමින් බෙදා හැරීමට සූදානම් කර ඇත.

මෙහි ආනයනකරු හා බෙදාහරින්නා ලෙස සවුත් පැසිෆික් ඒජන්සිස් නමැති ඉහළ බෝමිරිය, කඩුවෙල ලිපිනයක් තෙල් කෑන්වල සටහන් කර තිබූ බව වැටලීම කළ නිලධාරීහු පවසති.

මේ අනුව තෙල් ගබඩාවට මුද්‍රා තබා සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට රම්බඩගල්ල අධිකරණය උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධව සොයා බැලීමේදී වරාය ආරංචි මාර්ග තහවුරු කළේ රේගු අත්අඩංගුවට ගත් කන්ටේනර් තොගයක් ජනවාරි 20 දා ටෙන්ඩර් කර මුදාහැර ඇති බවයි.

CDV/TS/2023/01 දරන අංකය යටතේ මෙම ටෙන්ඩර් කැඳවා ඇත.

එහිදී කිලෝග්‍රෑම් 47,265 ක් බරැති කැනෝලා තෙල් කෑන් 5160 ද මුදාහැර ඇත්තේ රුපියල් එක්කෝටි පනස් එක්ලක්ෂ අසූදහසකටය.

ජර්මනියේ නිෂ්පාදිත බව කියන මෙම තෙල් 2023 පෙබරවාරි මාසයට පෙර භාවිතයට ගැනීම සඳහා රජයේ ආහාර පරීක්ෂකවරයා අනුමැතිය දී ඇත්තේ 2022 දෙසැම්බර් 19 දාය.

මෙහිදී වරායෙන් මුදගත් කැනෝලා තෙල් ලීටරයක මිල වී ඇත්තේ රුපියල් දෙසීය අනූහතරයි ශත දහඅටකටය.

(294.18) රුපියල් නවසිය අනූනවයකට ලීටරයක් මිල සටහන් කර තිබූ මෙම ලීටර් දහයේ කෑන් එකක් රුපියල් හත්දහස් පනහක ලාභයක් උපයාගත්තේ නම් රුපියල් තුන්කෝටි හැටතුන් ලක්ෂ හැත්තෑඅටදහසක් උපයා විශාල ලාභයක් ලැබෙන බව වරාය නිලධාරීහු පවසති.

ඉහළ ලාභයක් අපේක්ෂාවෙන් දූෂිත නිලධාරින්ගේ සහායෙන් මෙම කන්ටේනර් ටෙන්ඩර් කළ දිනයේම සහල් කන්ටේනර් පැන්නීමටද ජාවාරම්කරුවන් උත්සාහ ගෙන තිබූ බවත්, වරාය සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එම නිලධාරින් පෙන්වා දුන්හ.

මෙම තෙල් ජාවාරම ඇතුළු වරායේ වෙන්දේසි පසුපස සිටින මහමොළකරුවන් සොයා විමර්ශන කිරීමට බුද්ධි අංශවල සහාය පැතීමට බලධාරින් තීරණය කර ඇත.

වරාය සභාපති කීත් ඩී. බර්නාඩ්, පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන්ද පොලිස් බුද්ධි අංශවල සහාය පසුගියදා ඉල්ලා තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now