හෙට සිට ජූලි 10 මුළු රටම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහනක් - රටේ ජනතාව දැනුවත් වෙන්න
අනතුරු නිවාරණය පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය" හෙට (ජූලි 06) සිට ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමි වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (06) උදෑසන 11.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි.
සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අය වන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බවයි. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම අනතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද එල්ල වන දැඩි බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වී තිබෙන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම සතියේ සෑම දිනයක්ම විශේෂ තේමාවන් යටතේ ක්‍රියාත්මක කෙරෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 06 (සඳුදා) වැනිදා ‘මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය’, 07 (අඟහරුවාදා) වැනිදා ‘සේවා, ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය’, 08 (බදාදා) වැනිදා ‘නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය’, 09 (බ්‍රහස්පතින්දා) වැනිදා ‘දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය’, සහ 10 (සිකුරාදා) වැනිදා පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස මෙම සතිය නම් කර ඇති බවයි.
මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අනතුරු සිදුවීමේ අවදානම පවතින ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා වූ ප්‍රායෝගික වැඩසටහන් මෙන්ම අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා උපරිම මහජන සහභාගිත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.