අයවැය විවාදයේ දෙවන දිනය අදයි
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිත බවයි.
එසේම අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් ක් වේ.
එසේම ලබන වසරට වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් බව සඳහන්.
එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 618ක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක්, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 301ක්, ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබෙනවා. කෙසේ වෙතත් 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමක් වේ.
මෙසේ වැය ශීර්ෂය ඉහළ යාමට හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම දැක්වේ.
තවද 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 488ක් වෙන්කර ඇත.
2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් වශයෙන් දක්වා ඇති අතර එය නොඉක්ම විය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වේ.