පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අනවසර ඇතුල්වීමක්
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිහිටි නඩු භාණ්ඩ ගබඩා කාමරයට ඊයේ (25) රාත්‍රී කාලයේදී කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බවට ලද තොරතුරක් මත පූගොඩ පොලිසිය වහාම ක්‍රියාත්මක වෙමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, අදාළ කාමරයේ දොර ජනෙල් කඩා බිඳ දමා ඇතුළු වූ බවට කිසිදු සලකුණක් මෙතෙක් සොයා ගැනීමට ලැබී නැත.
මේ හේතුවෙන්, සැකකරු ඊයේ (25) දහවල් කාලයේදී සාමාන්‍ය පරිදි අධිකරණ භූමියට පැමිණ, එහි රහසිගත ස්ථානයක සැඟව සිට රාත්‍රී කාලයේදී මෙම භාණ්ඩ කාමරය තුළට රිංගන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැක කරයි.
කෙසේ වෙතත්, නඩු භාණ්ඩ කාමරය පරික්ෂා කිරීමේදී එහි ආරක්ෂිතව තබා තිබූ මුදල් සේප්පුව කඩා දැමීමට හෝ එහි තිබූ ගිනි අවි කිසිවක් සොරා ගැනීමට සැකකරු කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබේ.
පොලිස් නිලධාරීන් පෙන්වා දෙන්නේ මෑතකදී වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයට පත් කළ මත්ද්‍රව්‍ය තොග සෙවීමේ අරමුණින් මෙම පුද්ගලයා එහි ඇතුළු වන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට පූගොඩ පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.