ශ්‍රී ලංකාවේ එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාව ගැන ප්‍රසාදයක්

covid19 vaccination Prasanna Gunasena WB Anurudhdha Padheniya
By Sewvandhi Jun 26, 2021 01:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළවේ. එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වන බව ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. කොවිඩ් මර්දන විශේෂ කමිටුව 25 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය කෙරිණ.

ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබේ. එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව පාදෙණිය මහතා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now