සිංහලයෝ අඩපණ කරන්න ලන්දේසි වවපු දෙල්..එක එක ක්‍රමයට දෙල් කෑවට මේ ගැන දැනන් හිටියද..
🌳දෙල් ගසේ කතාව🌳
ලක්දිව ගැමියාගේ ආහාර වේල තුළ කොස්, දෙල්, අල, බතල සඳහා හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙරට වැසියාගේ ප්‍රධාන ආහාරය බත් වුවත් බොහෝ ගැමියෝ කොස්, දෙල්, අල, බතල ආදියෙන් වේලක් දෙකක් පිරිමසා ගැනීමට මැළි නොවෙති.
ලක්වාසීන් කොස් ගස බත් ගස ලෙස හැඳින්වූයේ ද ඒ හේතුවෙනි. ජන සමාජයේ ප්‍රචලිත ඉහත ආහාර වර්ග අතරින් දෙල් යනු මෙරට අනාදිමත් කාලයක් තිස්සේ පැවත එන ආහාර භෝගයක් නොවන අතර දෙල් වනාහි මෙරට ලන්දේසි පාලන යුගයේදී හඳුන්වා දෙන ලද්දකි.
මේ එම දෙල් ගසේ වගතුග සොයා යෑමකි. උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සිසස් යනුවෙන් හඳුන්වන රට දෙල් ගස ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ බ්‍රෙඩ් ෆෘට් හෙවත් පාන් පලතුර ලෙසිනි. මෙමඟින් පැහැදිලි වන්නේ යුරෝපා ජාතීන් ද දෙල් ආහාරයට ගෙන ඇති බවයි.
එමෙන්ම රට දෙල් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක් වන අතර එය කිරට, මිරිසට උයා තම්බා හෝ බැද කෑමට ගනී. රට දෙල් ගසට එම නම ලැබී ඇත්තේ එය විදෙස් රටකින් ගෙන්වා මෙරටට හඳුන්වා දීම හේතුවෙනි.
දෙල් ගසේ ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේදී මෙරට රෝපිත මුල්ම දෙල් ගස තවමත් ජීවමානව පවතී. එය ඓතිහාසික ගාල්ල කොටුව තුළ රෝපණය කර ඇත. මේ පිළිබඳව එන ජනප්රවාදයකින් කියැවෙන්නේ වැලිතර ප්‍රදේශයේ ජීවත් වූ පිනොස් ආරච්චි නමැති අයකු යුරෝපීය නැව්වලට ආරක්ෂාව සපයමින් කටයුතු කළ බවත් එසේ කටයුතු කරන අවස්ථාවක කුඩා යාත්‍රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවකට හසුව දූපතකට ගසා ගෙන ගිය බවත්ය.
එම දූපතේ අතරමං වූ ඔහුට ආහාරයට තිබී ඇත්තේ දෙල් පමණි. පසුව එම දූපතෙන් නැවත එන විට ඔහු දෙල් පැළ කිහිපයක් ගෙනැවිත් මෙරට රෝපණය කර ඇති බව සඳහන් වේ.
පණ්ඩිත විලියම් මහතා සිය ගාලු ඉතිහාසය කෘතියේ සඳහන් කර ඇත්තේ එවක ඕලන්ද ආණ්ඩුකාරවරයා බලකොටු ඉදි කිරීම සදහා කොස් ගස් සියල්ල කපා දැමීමට නියෝග කළ බැවින් විකල්පයක් ලෙස දෙල් හඳුන්වා දීමට සිදු වූ බවයි.
තවත් ජනප්රවාදයක සදහන් වන්නේ කපිතාන් විලියම් බ්ලින් විසින් ඇෙමරිකාවේ නීග්‍රෝ ජාතික වහලුන් සඳහා ආහාර ලෙස දෙල් හඳුනාගෙන පෙරදිග ඉන්දියානු ප්‍රදේශයේ සිට දෙල් පැළෑටි ප්‍රවාහනයේදී එක් දෙල් පැළෑටියක් ගාල්ල වරායට පාවී විත් මෙහි පැළ වී ඇති බවයි.
ජනප්රවාදගත ජනප්‍රිය මතයට අනුව මෙරට රෝපිත පළමු දෙල් ගස ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැඟිල්ල පිහිටි භූමියේ පිහිටා ඇත. මෙම දෙල් ගසේ තවමත් දෙල් ගෙඩි ඵල දරන අතර ඒවායේ රස බැලූ ගාල්ල කොටුව වාසීන් පවසනුයේ වෙනත් දෙල් ගස්හි දෙල්වලට වඩා මෙම දෙල් ගසේ දෙල් රසවත් බවය.
ගාල්ල පැරණි ඕලන්ද රෝහල් භූමියට පැමිණෙන ඕනෑම අයකුට මුහුද දෙසට අතුපතර විහිදා වැජඹෙන මෙම දෙල් ගස දැක ගත හැකිය. ලෝකය පුරා පැතිරුණු ආහාරයක් මෙන්ම කොස් අයත් ශාක කුලයට අයත් වන දෙල් දකුණු පැසිෆික් කලාපයේ නිව්ගිනියාවේ උපත ලැබූ බව සැලකෙන දෙල් ගස ආහාර භෝගයක් ලෙස ලංකාවටත් වඩා ඇමරිකානු මහාද්වීපයේ ජනප්‍රිය වී ඇත.
මෙය නාවිකයන් හරහා දකුණු හා ගිනිකොන ආසියාවට පැමිණ ඇති බව සඳහන් වේ. බ්‍රිතාන්‍ය හා ප්රංස නාවිකයන් එම දෙල් පොලිනීසියන් හා කැරිබියන් දූපත්වලට රැගෙන ගොස් ඇති අතර මේ වන විට දෙල් යනු රටවල් 90 ක පැතිර ඇති ශාකයකි.
දකුණු සහ ගිනිකොන ආසියාව, පැසිෆික් සාගර රටවල්, කැරිබියන් හා මධ්‍යම ඇමරිකාව, අප්‍රිකාව ඒ අතරින් ප්‍රධාන වේ. ඇමරිකාවේ හවායිහි දෙල්වලට වෙන් වූ පර්යේෂණ ආයතනයක් ද ඉදි කොට ඇත. දෙල් ගසේ අස්වැන්න, දෙල් ආහාරයක් ලෙස විවිධ ආකාරයෙන් සකස් කර ගන්නා අයුරු ආදිය පිළිබඳ පර්යේෂණ එම පර්යේෂණාගාරය තුළ කෘෂි විද්වතුන් විසින් සිදු කරනු ලබයි.
වෙදකම සඳහා ද මෙම දෙල් ශාකය භාවිතයට ගන්නා අතර දකුණු ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය, මලයාසියාව ඇතුළු රටවල දේශීය වෛද්‍ය කටයුතු සදහා දෙල් ශාකයේ නොයෙකුත් කොටස් භාවිතයට ගනී. මධ්‍යම ඇෙමරිකානු රටවල දෙල් පත්‍රවලින් සාදා ගන්නා තේ පානය අඩු රුධිර පීඩනය සහ දියවැඩියාවට ප්‍රතිකාරකයක් ලෙස යොදා ගනී.
එසේම ජැමෙයිකාවේ දෙල් කොළ යුෂ තුවාලවලට ප්‍රතිකාර වශයෙන් ද භාවිත කරයි. දෙල්වල පෝෂණ ගුණය සලකා බැලීමේදී එහි බහුලව ඇත්තේ පිෂ්ටයයි. මේ නිසා දෙල් ආහාරයට ගැනීමෙන් කැලරි වැඩි ප්‍රමාණයක් ශරීරයට ලැබේ. ප්‍රෝටීන් හා මේදය සුළු වශයෙන් ද තන්තු ද මෙහි අඩංගු වේ.
විටමින් සී, මැග්නීසියම්, විටමින් බී යන පෝෂ්‍ය පදාර්ථ ද මෙහි අන්තර්ගතය. දෙල් ගසේ ඵලය තරමක් උෂ්ණාධික වන අතර තම්බා මෙන්ම ව්‍යංජනයක් ලෙසද දෙල් ආහාරයට ගනී. නමුත් මේ උෂ්ණාධික බව නිසාම සිරුරේ ශක්තිය හීන වන බව කියැවේ. ලන්දේසීන් ඕලන්දයේ සිට ලංකාවට දෙල් ගෙන එනු ලැබුවේ සිංහලයන්ගේ ශක්තිය හීන කර කුසීත ජාතිකයක් කිරීමට බව අපේ ඇත්තෝ පවසති.
එහෙත් සිංහලයන් බල මාළුවල උෂ්ණාධික බව බාල කරන්නට බල මාළු සමග පොල් කෑමට පුරුදු වී සිටියා සේ ලන්දේසීන්ගේ දෙල් කෑමට ද පොල් භාවිත කළ බැවින් ලන්දේසීන්ගේ එම උපාය අසාර්ථක වූ බව අදටත් ගැමියෝ පවසති. ජැමෙයිකාවේ රෝස්ට් කළ දෙල් ඉහළ පෝෂණ මට්ටමක් ඇති නිසාත් ශරීරයට වැඩි ශක්තියක් ලැබෙන නිසාත් උදෑසන ආහාරය සදහා වඩාත් සුදුසු බව පැවසේ.
දෙල් තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම ඉතා රසවත්ය. නිවෙසේදී දෙල් රෝස්ට් කිරීම මෙන්ම විවිධාකාරයෙන් දෙල් සකසා ගැනීමට ගෘහණියන් අතීතයේ සිට පුරුදු වී ඇත. දෙල් කිරට, මිරිසට, ව්‍යංජනයක් ලෙස මෙන්ම මැල්ලුමක් ආකාරයෙන් ද සකසා ගැනීමෙන් ආහාර වේලට ප්‍රණීත රසයක් ලැබේ.
දෙල්වල අධික උෂ්ණ ගතිය මග හැරීමට දෙල් ව්‍යංජනයට නිවිති, අළු පුහුල් දළු හෝ කතුරුමුරුංගා කොළ මිශ්‍ර කිරීම සිදු කරයි.කෙසේ වෙතත් කවරකු කවර කාලයක රට දෙල් මෙරටට ගෙන ආව ද රට දෙල් යනු ලක්වාසීන් අතර ඉතා ජනප්‍රිය මෙන්ම ප්‍රණීත ආහාරයකි. (සෙනුමි වෙදගේ අ.ජාලය ඇසුරෙනි ගොවිබිමයි සොබාදහමයි උ.ගැ මෙලෙස සදහන් ව තිබිණි )