තවමත් අයදුම්පත් යොමු නොකළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව සිසුන් සඳහා නවතම වැඩපිළිවෙළක්..?

scholarship Kapila Perera Keheliya Rabukwella Advanced level
By Sewvandhi Sep 15, 2021 03:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණ කරයැවීම සඳහා ලබා දී තිබූ කාලසීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. එහෙත් ක්‍රියාත්මක ගුරු හා විදුහල්පති වර්ජනය හේතුවෙන් එම කටයුතු අතරමග ඇණහිට තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ එසේ වුවත් මෙතෙක් අයදුම්පත් යොමු නොකළ සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී මාස දෙකක කාලයක් ඉක්මවා තිබේ. එවැනි පසුබිමක සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී නොවීමටත් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් බැහැරවීමටත් ගුරු සංගම් තීරණය කර තිබුණි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 3,283 න් පාසල් 944 ක් මේ වනවිට අයඳුම්පත් සම්පූර්ණ කර අවසන් අතර අපොස උසස් පෙළ විභාගය සඳහා පාසල් 354 න් පාසල් 16 ක් මේ වනවිට අයඳුම්පත් සම්පූර්ණ කර ඇති බවය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 2339 ක් ද අපොස උසස් පෙළ විභාගය සඳහා පාසල් 338 ක්ද තවමත් අයඳුම්පත් සම්පූර්ණ කර නැහැ. ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12 ට අයදුම්පත් භාර ගැනීම අවසන් වුවද අයදුම් නොකළ අනෙක් දරුවන්ට අසාධාරණයක් නොවන පරදි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

මේ අතර, අද (15) පැවැති සාකච්ඡාවකදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඔහු සඳහන් කළේ පෙරපාසල් ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා වූ බවය.

"පෙරපාසලේ සිට 5 දක්වා හෝ 6 දක්වා පන්ති ආරම්භ කිරීම කළ යුතුයි කියලා සාකච්ඡා කළා. දින වෙන් කිරීම සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඉදිරි සති දෙක තුන ඇතුළත තීන්දු කරනවා. ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. එයට ආරම්භයක් ලබා දෙනවා. එහිදි ප්‍රමුඛත්වය ලබාදෙන ස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. පාසල් ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ මාර්ගෝපදේශ ලැබෙයි."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now