අද උදේ මල්ලි නැති වුණා..ඉවසගන්න බෑ..අතිශය සංවේදී කතාවක්.. තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් බිල්ලට

covid19 infections ragama hospital pneumonia rasik mohomad
By Sewvandhi Aug 18, 2021 02:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගතය හේතුවෙන් දිවි අහිමි වූ තවත් වෛද්‍යවරයෙකු පිළිබඳ  වාර්තා විය. රාගම ශික්ෂණ රෝහලේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ 41 හැවිරිදි රාසික් මොහොමඩ් ජනාත් ඉමහත් කැපවීමකින් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකි.එම වෛද්‍යවරයා අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

"මල්ලී ඉස්පිරිතාලේ දවස් 14ක් වගේ හිටියා. මම තමයි මල්ලිව ඇඩ්මිට් කරේ. ICU එකේ දවස් 8 - 10ක් වගේ හිටියා. අද ටිකට් කපලා ගෙදර යන්න හිටියේ. හොඳට හිටියා. එහෙම හිටිය එක්කෙනා ඊයේ එකපාර ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා වගේ වුණා. වෛද්‍යවරු කිව්වා ලේ හිරවෙලා කියලා. ඊයේ 2ක වෙනකල් වෛද්‍යවරු හරිම අමාරුවෙන් මල්ලිගේ ගියපු පණ තමයි අල්ලගෙන හිටියේ. මම බලාගෙන හිටියා. ඒ වෙලාවේ ඉදලා අද උදේ 7 වෙනකල් ඒ තත්ත්වයෙන්ම මල්ලි හිටියා. මම 5.30ට ආවා උදේ. බලනකොට මැෂින් එක දාපු විදියටම තිබුණා. අද උදේ 7ට මල්ලි නැති වුණා. මං බලාගෙන හිටියා ඉවසගන්න බැරිවුණා. තරහකාරයෙක්ටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න හොඳ නෑ. මනුෂ්‍ය ජාතියෙන් කාටවත් ලෙඩ බෝකරන්න එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලන්නවා. කන්න බොන්න අපිට එපා. කොහොම හරි ජීවත්වෙන්නම්. ලෙඩ හැදෙන්න හොඳ නෑ."

තිදරු පියෙකු වූ වෛද්‍ය රාසික් මොහොමඩ් මහතා ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ ළාබාලතම දරුවාට සම්පූර්ණ වී තිබුණේ මාස 03 ක් පමණයි. සිය පවුලේ සාමාජිකයින් සමඟ වෛද්‍ය රාසික් මොහොමඩ් පසුගිය දිනක විවේකයෙන් ගත කළ මොහොතක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහන්ව තිබුණි.

මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ දී ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී මිය ගියේය. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.

එමෙන්ම පසුගිය අගෝස්තු 10 වන දා ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now