''WHO Covax අපිට පොල්ල තිබ්බා'' - වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
'විවිධ පැණි වර්ග ප්‍රවර්ධනය කරමින් සිට පමා වී එන්නත් ගෙනා ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පෙන්වා දුන් කාණ්ඩවලට ප්‍රමුඛතාව නොදී නිසි කලට එන්නත් නොකර දැන් ජනතාව එන්නත් නොගන්නා බවට චෝදනා කරන බව' පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, නිසි කලට එන්නත්කරණය ආරම්භ කරන්නටත් අවසන් කරන්නටත් ආණ්ඩුව අසමත් වූ බවත් ජනතාව එන්නත් ලබා ගන්නේ නැතිනම් එය ජනතාවගේ වරදක් නොවන බව හමුදාපතිවරයාත් ජනාධිපතිවරයාත් මතක තබා ගත යුතු බවත්ය.
"මා දැක්කා සියලු ම දෙනා එන්නත්කරණය කළ යුතු බවත් එන්නත් කාඩ් එක නැතිව සැප්තැම්බර් 15 වන දායින් පසුව එළියට බහින්න ඉඩ නොදෙන බවත් ප්‍රකාශ කළා. ඒක ගැනත් මා යමක් ප්‍රකාශ කළ යුතුයි. අපේ රටේ එන්නත්කරණය ජනතාව ප්‍රතික්ෂේප කරනවා ද? නැහැ. ලෝකයේ සමහර රටවල් එක්කෝ ආගමික මූලධර්ම මත නැත්නම් වෙනත් හේතූන් මත එන්නත ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ එහෙම එකක් නෑ. අපේ රටේ ජනතාව ආණ්ඩුව විසින් මෙයට සුදුසු යෝග්‍ය කුමක්ද කිව්වත් එය පොරබදාගන්න පෙළඹුණු ජනතාවක් ඉන්නේ. ඔබට මතක ඇති පහුගිය දා රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ඔහු හඳුන්වා දෙනු ලැබුවා කෑගල්ලේ ධම්මික පැණිය. එය සෞඛ්‍ය අමාත්‍යවරිය පානය කරනවා. එය කතානායකවරයා පානය කරනවා. එයට පෞද්ගලික නාලිකාවක් විශාල ප්‍රචාරයක් ලබා දෙනවා.
ඒ මත මොක ද කරේ ජනතාව රැස් කකා පොදි බැඳගෙන එම ධම්මික පැණිය පසු පස ගිය බව අපි දැක්කා. ඇයි? ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙයට විසඳුම පැණියක් ලෙස ප්‍රවර්ධනය කරනකොට ජනතාව පැණියක් පස්සේ ගියා. ඒ වගේ ම ITN නාලිකාවේ සභපතිවරයා ඇතුළු කණ්ඩායමක් විශාල ප්‍රචාරයක් ගෙනිච්චා මෙයට සුදුසු රාවනා පැණිය කියලා. ඒ රාවණා පැණිය පස්සෙත් ජනතාව යන්න ගත්තා රාජ්‍ය නාලිකාවක් රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවති නිසා. ඒ නිසා ජනතාව ඖෂධ හෝ වැක්සින් ප්‍රතික්ෂේප කරේ නෑ. ඖෂධ පිළිබඳ අමාත්‍ය චන්න ජයසුමන කිව්වා මේකට හරියන්නෙ සුදර්ශන පැණිය, ඒ නිසා ජනතාව සුදර්ශන පැණිය පස්සේ ගියා. පසුව වැක්සින් එක ගෙනාවා පමා වෙලා. වැක්සින් එක ගෙනාවා ම මොකද වුණේ?
ජනතාව පොදි බැඳ බැඳ වැක්සින් එක ලබා ගැනීමට ප්‍රයත්න දැරුවා. හැබැයි ආණ්ඩුව අසමත් වුණා නිසි කලට නිසි වෙලාවට එන්නත්කරණය පටන් ගන්නත් අවසාන කරන්නත්. ඒකෙ ප්‍රතිඵල මේ භුක්ති විඳිමින් තියෙන්නේ. ඒ නිසා එන්නත්කරණය නොකරගෙන සිටීම ජනතාවගේ වරදක් නොවේ. ජනතාව දැනුත් බලාගෙන ඉන්නවා තමන් ගමට එනකං එන්නත්කරණය. සෑම පුරවැසියෙකු ම පෝලිම්වල පැය 4 -5 රස්තියාදු වෙමින් මේ එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රයත්න දරමින් සිටිනවා. ඒ නිසා ජනතාව එන්නත්කරණය ලබාගන්නේ නැත්නං එය ජනතාවගේ වරදක් නොවන බව හමුදාපතිවරයාත් ජනාධිපතිවරයාත් මතක තබාගත යුතුයි."
එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ හදිසියේ ඉවත් කර 30ත් 60ත් අතර ජනතාවට ප්‍රමුඛතාව දෙන ලෙසට වැඩපිළිවෙල වෙනස් කිරීම නිසා මතුව ඇති අර්බුධය උද්ගත වූ බව ද ඔහු පැවසීය.
"ඒ වගේ ම එන්නත්කරණයේ සැලැස්මක් හැදුවා. මා දැක්කා දැනට පළ වන වාර්තාවන් අනුව අපේ මරණවලින් 75%කට වැඩි ප්‍රමාණයක් අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා ලෝකෙ පුරා ම එන්නත්කරණ වැඩපිළිවෙළක් හැදුවා. ලෝකේ කිසිදු රටක එක වර ඒ රටේ සියලු ජනතාව එන්නත්කරණය කරන්න බෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියා ඔවුන්ගේ කොවැක්ස් වැඩසටහනෙන් එන්නත් ලබා දෙන්න නම් තමන්ගේ එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න කියලා. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ ලබාදුන්නා.
ඒවා හා අපේ රටේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්ගේ එකතුවෙන් මෙම එන්කත්කරණ ජාතික වැඩපිළිවෙල හදලා පහුගිය ජනවාරි මාසෙ 17 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට බාරදෙනු ලැබුවා. එම ජාතික වැඩසටහනේ තිබුණේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමුඛ කරගෙන මෙයට මැදිහත් වෙන කාර්ය මණ්ඩල ප්‍රමුඛ විය යුතුයි. ඊළඟ ප්‍රධාන ම ප්‍රමුඛතාව තිබ්බේ අවුරුදු 60ට වඩා වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන හා 60ට වඩා වැඩි පුරවැසියෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ, අපේ විශේෂඥයින්ගේ මතය ලෝකය පුරා එන්නත්කරණය සම්බන්ධ තිබ්බ අත්දැකීම් සියල්ල ප්‍රතික්ෂේප කොට අපේ එන්නත්කරණය කරන්න ගත්තා අවුරුදු 30 ත් 60ත් අතර.
අපි දැනගන්න කැමති ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනස්කොට 30 ත් 60ත් අතර ප්‍රමුණතාව ලැයිස්තුවට ආවෙ කොහොම ද? කවුද ඒකට නිර්දේශයක් ලබාදුන්නේ? මට මතකයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියනවා මෙය වෙනස් කර ඇති බව ඇයවත් දන්නේ නැති බව. මෙහෙමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා අද ප්‍රමුඛතාව 60ට වඩා කිව්වට එන්නත්කරණයේ ප්‍රමුඛතාව 60ට වැඩි අය තියා ගත්තේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයා අද 60ට වැඩි අය ගැන කතා කරාට කතා කරන්න තිබුණේ, තීන්දු තීරණ ගන්න තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන ලද ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ. ඒ නිසා අද එන්නත්කරණය පිළිබඳව මේක තමා ඇති වී තිබෙන විකෘතිභාවය."
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, 'කතන්දරේ බාගෙට දැනගෙන කරන චෝදනා නොකර කරුණ හරිහැටි දැන ගැනීමට නම් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ විමසන ලෙස' ය.
ජනතා විමුක්ති පෙරමුණ පවසන පරිදි 60 ට වැඩි ජනතාව එන්නත් කිරීමේ වැඩපිළිවෙළ 30ත් 60ත් අතර ජනතාවට එන්නත් කරන ලෙස එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනස් කළේ කාගේ වුවමනාවට ද? යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙවැනි අදහසකි."WHO යැව්වේ WHO කොවැක්ස් පහසුකම මිලියන 4.5ක් ලබා දෙනවා කිව්වා. ඒක ලබා ගන්න අවශ්‍ය කරන සැලසුම තමා ඒ ඉදිරිපත් කළේ. සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වා පළමු පියවර සෞඛ්‍ය සේවකයෝ ඊට පස්සේ 60ට වැඩි අය. අපි බලාපොරොත්තු වුණා ඒ මිලියන 4යි ගාණ ඉක්මනින් ලැබෙයි කියලා. ඒ අතරේ රජය මගින් මිලදී ගත්තුවා තමා 30ට වැඩි අයට දුන්නේ. ඇත්තට ම කියන්න තරම් වචනත් නෑ. WHO එක තමන්ගේ වගකීම පැහැර හරිමින් එවනවා කිව්ව එන්නත් තොගය එව්වේ නෑ. අපි බලාපොරොත්තු ඇතිව හිටියේ සෞඛ්‍ය සේවකයින්ට ඒවා ලබා දීලා මිල දී ගත්තු ඒවා 30ට වැඩි අයට දෙන්න. ඒ නිසා තමා සල්ලි දීලා ගත්ත ඒවාගෙන් 60ට වැඩි අයටත් දෙන්න වුණා. කොවැක්ස් එක අපිට 'පොල්ල තිබ්බ නිසා' WHO එකෙන් කියන විදියට ගන්නත් එයාලා අපිට එව්වෙත් නෑ. ඒ නිසා අපිට සිද්ධ වුණා මිලදී ගත්තුවා ම 60ට වැඩි අයටත් 30ට වැඩි අයටත් කර්මාන්ත ශාලාවට 30ට අඩු අයටත් දෙන්න වුණා."
60 ට වැඩියෙන් මිය යන පිරිස වැඩි වෙන්න හේතුව එන්නත් නිසි කල නිසි අයුරින් නොලැබීම කියන චෝදනාව ගැන ඔබ මොක ද කියන්නේ?
"මේ මිය යන අය එන්නත් නොලැබුණු අය නෙවේ. මේ දක්වා තවමත් මෙච්චර එන්නත Available වෙලා තියෙද්දිත් ඉන්නවා 60ට වැඩි එන්නත නොගත් අය. අපිට ගෙවල්වලට පැනලා එන්නත ගන්නෙ නැති අය හොයලා එන්නත ගහන්න බෑනේ. චෝදනා කරන්න නං කාටත් පුළුවන්. ප්‍රායෝගිකව කරන්න ගත්තා ම තමා මේවායේ අමාරුව තියෙන්නේ. ඔය කතන්දරේ බාගෙට හොයාගෙන කරන චෝදනාවලට මම බය නැතිව කියනවා ඇත්ත තත්ත්වය දැන ගන්න නම් සෞඛ්‍ය අමාත්‍යංශයට එන්න. මිල දී ගත්ත ඒවා තමා මේ විදින්නේ 90%ක් ම. WHO එක කිව්වා 10%ක් දෙනවා කියලා.
ඒක් WHO එකෙන් ඒ කියපු විදියට ආපු ප්‍රමාණේ ගැහුවා. අනික් මිලදී ගන්න ඒවායෙන් 30ට වැඩි සහ 60ට වැඩි අනික් අයටත් ගන්නේ දැන්. නැත්නම් කොහෙන් ද ලක්ෂ ගාණකට එන්නත් ගහන්නේ කියන්නකෝ."
'එක එක පැණි ගැන කියලා සෞඛ්‍යයට සම්බන්ධ ඉහළ නියෝජිතයෝ ජනතාව මුලා කරලා පස්සේ එන්නත් ගන්නෙ නෑ කියලා චෝදනා කරනවා' ලු කියන අනුර කුමාර මහතාගේ චෝදනාව ගැන ඔබේ අදහස මොකක් ද?
"පැණි කතාව ගැන මට මුකුත් කියන්න බෑ. ඒක සෞඛ්‍ය අමාත්‍යංශෙ සම්බන්ධ වෙලා කරපු දෙයක් නෙවේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |