ලංකාවට වාසියක් වගේ - ලංකාවට තෙල් ගේන සිංගප්පූරු ප්ලැට්ස් ඩීසල් මිල පහළට
ඉරාන යුද ගැටුම් අවසන් වී කලාපය තුළ සාම ගිවිසුමක් ඇතිවනු ඇතැයි තැබෙන සුබවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
මේ වන විට ගෝලීය වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් දර්ශක වන WTI Crude සහ Brent Crude මිල ගණන් පිළිවෙළින් 5.13% කින් සහ 4.93% කින් පහත වැටී ඇති අතර, මැදපෙරදිග කලාපයේ Murban බොරතෙල් මිල ද 6.45% ක දැවැන්ත පහත වැටීමක් වාර්තා කර තිබේ.
මීට සමගාමීව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන මිලදී ගැනීම් සිදුකරන සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) වෙළඳපොළේ ද ඩීසල් මිල ගණන් පහත වැටී තිබේ. ඒ අනුව NYMEX සිංගප්පූරු ගැසොයිල් (ඩීසල්) බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 158.32 ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.
යුද ආතතීන් ලිහිල් වීමත් සමඟ සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම මෙම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව වී තිබේ.
සිංගප්පූරු ප්ලැට්ස් වෙළෙඳපොළේ වත්මන් මිල ගණන් අනුව, කිසිදු රජයේ බද්දක්, වරාය ගාස්තුවක් හෝ බෙදා හැරීමේ පිරිවැයක් එකතු නොකර, ලංකාවට තෙල් නැවක් පැමිණෙන විට පවතින ශුද්ධ ආනයනික පිරිවැය පමණක් ඩීසල් ලීටරයක රුපියල් 298.74 ක් පමණ වේ.