PHI සංගමයෙන් වෛද්‍ය සංගමයට චෝදනා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 13ක් ආරම්භ කළ වැඩවර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය භාරගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවාවේ සමතුලිතතාවය බිඳවැටීම ආරම්භ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවය.
"මහජනතාවගේ චෝදනාව සාධාරණයි. ඔවුන් කොවිඩ්, ආර්ථික ගැටලු වැනි කරුණු නිසා විශාල පීඩාවකට පත්වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. සෞඛ්‍ය සේවයේ සමතුලිතභාවය බිඳවැටීම ආරම්භ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔවුන් නැවතත් අවධාරණය කරමින් ඉන්නවා ඔවුන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවා කියලා. ඔවුන් ආරම්භ කරපු නොයෙකුත් ක්‍රියා නිසා තමයි මේ උසස්වීම් පටිපාටි, මාණ්ඩලික තත්ත්ව ප්‍රධානය වැනි කාරණා යම් තරමකට බාධාවෙමින් පැවතියේ. ඔවුන් විසින් සෞඛ්‍ය සේවයේ බිඳින ලද සමතුලිතතාවය දැන් දිගින් දිගටම වෘත්තීය අරගල බවට පත්වෙලා."
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 13ක් අද (05) උදෑසන සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. සිය ඉල්ලීම්වලට බලධාරීන් පැහැදිලි විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට රෝහල් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ප්‍රතිකාර ගැනීම සඳහා අද දිනයේ රෝහල්වලට පැමිණි රෝගීන් වැඩවර්ජනය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබුණි.
මේ අතර පරිපූරක වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේ,
"මේ මොහොතේ අපිට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ වගේ වසංගත තත්ත්වයක් තුළ සෞඛ්‍ය සේවයේ සියලු දෙනා එකා මෙන් කටයුතු කළයුතුයි. අපි බෙදිලා කටයුතු කළොත් මේ රෝගය හරහා සෞඛ්‍ය සේවාවට තවත් බරක් ඇති වේවි. ඒ හරහා ඇතිවෙන තත්ත්වයට අපි හැමෝටම වගකියන්න වෙයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |