"තෙල් ප්‍රතිපාදන මං නීත්‍යානුකූලවමයි ගත්තේ" - ඉන්ධන චෝදනාවට හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් සැර උත්තරයක්
රජයෙන් ලබාදුන් ඉන්ධන ප්‍රතිපාදන අවභාවිත කළ බවට එල්ල වන චෝදනා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් අනුමත කර ඇති ක්‍රියා පටිපාටි නිසි ලෙස පරීක්ෂා කිරීමකින් තොරව, තම කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය සහ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි.
තම ධුර කාලය තුළ නීත්‍යානුකූලව හිමි ඉන්ධන ප්‍රතිපාදන සහ අනුමත සීමාවන්ට අනුකූලව පමණක් ඉන්ධන ලබාගත් බවද ඔහු අවධාරණය කළේය. ඒ සම්බන්ධ සියලු නිල ලේඛන සහ වාර්තා තමන් සතුව පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
නිසි විමර්ශනයක් සිදු නොකර මාධ්‍ය ඔස්සේ මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බවද හිටපු නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. නියෝජ්‍ය කථානායකවරයා ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා සුදුසු නිල වාහනයක් තමන්ට නොතිබූ බැවින්, බාහිර පාර්ශ්වයකින් වාහනයක් කුලී පදනම මත ලබාගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් සැලකිය යුතු අමතර පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, කුලී ගාස්තු සඳහා වැය කිරීමට සිදුවන මුදල් ඉතිරි කර ගැනීම සඳහා තමන් කටයුතු කළ බවද රාජපක්ෂ සඳහන් කළේය.
හිටපු කථානායකවරුන් සහ නියෝජ්‍ය කථානායකවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සම්ප්‍රදායන්, නීති සහ රෙගුලාසිවලට අනුකූලව තම රාජකාරි ඉටු කළ බව අවධාරණය කළ ඔහු, කිසිදු නීති විරෝධී ක්‍රියාවකට තමන් සම්බන්ධ වී නොමැති බවද ප්‍රකාශ කළේය.
මේ අතර, වර්තමානයේ රජයේ තනතුරු දරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු දූෂණ චෝදනා පවතින අවස්ථාවක, එම කරුණු වලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් තමන්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවටද හිටපු නියෝජ්‍ය කථානායකවරයා චෝදනා කළේය.