අනේ මගේ කෝච්ට මරණ තර්ජන බයේ හැංගිලා - ලක්මව රනින් සැරසූ අචින්ත ජනපතිගෙන් ඉල්ලූ සංවේදී ඉල්ලීම
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලාංකිකයකු දිනාගත් පළමු රන් පදක්කම ලංකාවට හිමිකර දෙමින් වාර්තා අතරට එක් වූ විශිෂ්ට ක්‍රීඩකයෙක් ලෙස ලහිරු අචින්ත හැඳින්විය හැකිය.
බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී පසුගිය 23 වනදා පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළේය.
පසුගියදා ඔහු ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟම ඔහු හරිම සංවේදී කතාවක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කොට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් එයට පිළිසරණක් බලාපොරොත්තු වී තිබේ.
ඔහු සඳහන් කරන ආකාරයට මෙම තරගයට සහභාගී වීමට ඔහුගේ පුහුණුකරු ළඟ නැතුව ඔහු තනියම තමයි පුහුණුවීම් කටයුතු සිදු කරගෙන තියෙන්නේ.
ඔහුගේ පුහුණුකරු දුරකථන ඇමතුම් ඔස්සේ ඔහුට උපදෙස් ලබා දුන් බවත් අචින්ත සඳහන් කරයි. මෙයට හේතුව පසුගිය වසරක පමණ කාලයක් පුරාවට පුහුණුකරුට එල්ල වී ඇති මරණීය තර්ජන බව ඔහු වැඩිදුරටත් සිය සටහනේ සඳහන් කොට තිබේ.
ඒ අනුව මෙම මරණීය තර්ජන හේතුවෙන් සිය පුහුණුකරු තමන්ගේ පවුලේ සියලු දෙනා සමග සැඟවී ජීවත් වන බවත් පුහුණුකරුව තමා ළඟට ගෙනත් දෙන්නේ නම් 2028 වර්ෂයේදී ලංකාවට ඔලිම්පික් පදක්කම දිනා දීමට ඔහු පොරොන්දු වෙන බව සිය සටහන මගින් වැඩිදුරටත් සඳහන් කොට ඇත.
ඒ අනුව මේ ආකාරයෙන් ලහිරු අචින්ත සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කොට තිබුණ සටහන පහතින් උපුටා දක්වා ඇත.
උපුටා ගැනීම,
"මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺 ජනාධිපති තුමණි මම මගේ Coach ලඟ නැතුව තනියෙන් Training කළේ. මම මගේ Timing බලන්නේ තනියම. Training කළේ තනියම, ඒවා කවුරුත් දන්නේ නැති දේවල්, මගේ Coach චමිල් බෝතොට සර්ව Chamil Bothota අදට අවුරුදු 1 හමාරක් විතර මගෙ ඇස් දෙකට තාම දැකලා නෑ කෝල් කරලා Training වලට Help කරනවා විතරයි. මන් තනියෙම Coach ලග නැතුව Training කරලා තමයි Asian Record එකක් තියලා Gold Medal එකක් දිනුවේ. ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහින් මගේ සර්ට ඇති වුණ මරණ තර්ජන නිසා සර් සහ සර්ගෙ මුළු පවුලම ඉන්නේ හැංගිලා. ගරු ජනාධිපති තුමණි මගේ Coach චමිල් බෝතොට සර්ව මගේ ලගට ගෙනත් දෙන්න, මගේ පුහුණවීම් කරගන්න. සර් ළඟ හිටියොත් 2028 ඔලිම්පික් පදක්කමක් මම ලංකාවට ගේන්න පුළුවන් ❤️🔥 "ජනාධිපති තුමණි මේක මගේ අහිංසක ඉල්ලීමක් 😭"
උපුටා ගැනීම අවසන්.