අලුත් අවුරුද්දට ගිනිකෙළි හිඟයක්
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් තත්ත්වයන් නිසා ගිනිකෙළි නිෂ්පාදන විනාශයට පත්වීමත්, අමුද්‍රව්‍ය මිල වේගයෙන් ඉහළ යාමත් හේතුවෙන් මෙවර සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි හිඟයක් ඇතිව තිබෙන බව නිෂ්පාදකයෝ පවසති.
මධ්‍යම පළාත් ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් අතුල අල්විස් මහතා සඳහන් කළේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් නිෂ්පාදන දැඩි ලෙස පහළ ගොස් ඇති බවයි.
විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය සහ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් ගිනිකෙළි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම 90%කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවද ඔහු පැවසීය.
එම විනාශයට පත් වූ නිෂ්පාදන නැවත සකස් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන අතර, මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම හස්ත කර්මාන්තයක් වන බැවින් නිෂ්පාදන ක්‍රියාවලිය ද මන්දගාමීව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
ඇලුමිනියම්, බේරියම් නයිට්රේට්, පොටෑසියම් නයිට්රේට් වැනි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මෙවර ගිනිකෙළි මිලද ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟ අලෙවියද යම් පරිමාණයකින් පහළ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.