NDB බැංකු වංචා චෝදනා - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහබැංකුවෙන් කරුණු විමසයි
NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ.
ඒ, කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 07 වනදා පැවති රැස්වීමකදීය.
නීතිමය අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු ශ්‍රී ලංකා මහබැංකුව, එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පාලක මණ්ඩලය, මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එම රැස්වීමට සහභාගී විය.
ප්‍රසිද්ධ බැංකුවකින් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - බැංකුවේ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට
එහිදී NDB බැංකුව සම්බන්ධයෙන් මතු වී ඇති මූල්‍ය වංචා චෝදනා පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම ගැටලුවේ බරපතළත්වය සැලකිල්ලට ගනිමින්, කඩිනමින් පරීක්ෂා කර වාර්තා ලබාදීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ මූලික විමර්ශනයක් මේ වනවිටත් ක්‍රියාත්මක වන බවයි. අවශ්‍ය තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් කාරක සභාවට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම, බැංකුවේ ආයතනික පාලනයේ ඇති අඩුපාඩු, මහබැංකුවේ අදාළ අධීක්ෂණ ක්‍රියාවලියේ දුර්වලතා සහ තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙවැනි අඩුපාඩු කිසිසේත්ම පිළිගත නොහැකි බව අවධාරණය කළ කාරක සභාව, එම දුර්වලතා වහාම නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
අදාළ කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත්, මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා පූර්ණ වගවීම සහ විනිවිදභාවය සහතික කිරීමට කටයුතු කරන බවත් කාරක සභාව වැඩිදුරටත් අවධාරණය කළේය.