“මචං… අරකිගේ වීඩියෝ එක දැක්කද?” - ඩිජිටල් ආදරයේ අඳුරු පැත්ත

Report

අද කාලයේ ලංකාවේ වට්ස්ඇප් ගෲප් එකක හෝ ටෙලිග්‍රෑම් චැනල් එකක වැඩියෙන්ම හුවමාරු වෙන පණිවිඩයක් වෙලා තියෙන්නේ මේ වාක්‍යය. කෙනෙකුගේ අතිශය පෞද්ගලික මොහොතක්, මිනිත්තු කිහිපයකින්ම මුළු රටම බලන වීඩියෝවක් බවට පත්වෙන යුගයක් අපි ජීවත් වෙන්නේ.

පණටත් වඩා ආදරේ කළ කෙනා එක්ක ගත කළ පෞද්ගලික මොහොතක් මෙහෙම ප්‍රසිද්ධ වෙයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. නමුත් “විශ්වාස කරනවාද?”, “අපි කොහොමත් බඳිනවනේ”, “මේක අපි දෙන්නා අතරට විතරයි” වගේ වචන වලට රැවටෙලා, තරුණයන් තමන්ගේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ බෙදාගන්න එක අද සාමාන්‍ය දෙයක් වෙලා.

“මචං… අරකිගේ වීඩියෝ එක දැක්කද?” - ඩිජිටල් ආදරයේ අඳුරු පැත්ත | Specail Announcement Dark Side Of Digital Love

ඒත්, එක පාරක් එවපු ඡායාරූපයක් හෝ වීඩියෝවක්, ඔයාගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම පිටවෙලා යනවා. අද ඔයාට විශ්වාසවන්තම කෙනා වෙලා පෙනෙන පුද්ගලයා, හෙට සම්බන්ධතාවය බිඳුනොත් පළිගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. මෑත කාලයේ සිද්ධ වුණු බොහෝ සිදුවීම් වලින් පේන්නේ, වෙන්වීමෙන් පසු මේ වගේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍යට මුදා හැරීමයි.

ඒක හිතාමතා නොවෙන්නත් පුළුවන්. ෆෝන් එකක් නැති වීම, රෙපයාර් කිරීමකට දීම, හෝ වෙනත් කෙනෙකු අතට පත්වීමත් මේ වගේ ලීක් වීම්වලට හේතු වෙලා තියෙනවා. නමුත් අවසානයේ වැඩියෙන්ම හානි වෙන්නේ ගැහැණු ළමයින්ටයි - සමාජයේ අපහාස, පවුලේ පීඩනය, මානසික ආතතිය, තවත් අවස්ථාවල ජීවිතයටම භයානක තත්ත්වයන්ට ද මේවා ගෙනියනවා.

ආදරය පෙන්වන්න නිරුවත් වීම අවශ්‍ය නැහැ. සැබෑ ආදරය තියෙන්නේ විශ්වාසය, ගෞරවය සහ ආරක්ෂාව තුළ. එය ෆෝන් එකක, මෙමරි කාඩ් එකක, හෝ ක්ලවුඩ් එකක සුරක්ෂිත කරන දෙයක් නෙවෙයි.

එක වැරැද්දක් ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා:

  • පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ කිසිවෙකුට යවන්න එපා
  • “විශ්වාසය” කියන නාමයෙන් පීඩනයට ලක් වෙන්න එපා
  • ඩිජිටල් දත්ත කියන්නේ සදාකාලිකව පවතින දෙයක් කියලා මතක තබා ගන්න

ආදරේ කරන කාලේ වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒ වැරදි ජීවිත කාලය පුරාම විඳවන්න වෙන තත්ත්වයක් කරගන්න එපා. ඔයාගේ ගෞරවය සහ ආරක්ෂාව ඔයාගේ අතේම තියෙනවා.

“මචං… අරකිගේ වීඩියෝ එක දැක්කද?” - ඩිජිටල් ආදරයේ අඳුරු පැත්ත | Specail Announcement Dark Side Of Digital Love

ලංකාවේ දැන් Online Safety Act වගේ නීති තියෙනවා.

කෙනෙක්ගේ අවසරය නැතුව පෞද්ගලික දේවල් ශෙයාර් කරන එක ලොකු හිරේ යන්න පුළුවන් වරදක්. ඔයාට පුළුවන් වහාම කොළඹ තියෙන CID (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) එකට හරි, ළඟම තියෙන පොලිසියට හරි ගිහින් පැමිණිල්ලක් දාන්න. ඒ වගේම Social Media Hotline (1919) එකට කතා කරලා උපදෙස් ගන්නත් පුළුවන්. ඔයා පැමිණිල්ලක් කළොත් ඒ වීඩියෝ එක අන්තර්ජාලයෙන් ඉවත් කරන්න සහ ඒක ශෙයාර් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් තාක්ෂණය දැන් ලංකාවේ තියෙනවා.    

CERT|CC (Sri Lanka Computer Emergency Readiness Team) සම්බන්ධ කරගන්න.  

මේක තමයි ලංකාවේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව ගැන බලන ප්‍රධානම ආයතනය. ඔයාගේ වීඩියෝ එකක් හෝ පින්තූරයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ තැන්වල පැතිරෙනවා නම්, ඒක අයින් කරන්න අවශ්‍ය තාක්ෂණික සහාය සහ උපදෙස් මෙයාලගෙන් ලබාගන්න පුළුවන්. මෙයාලගේ වෙබ් අඩවිය හරහා හෝ 011 269 1692 අංකයෙන් මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන්.  

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කාර්යාංශයට (Women and Children’s Bureau) දැනුම් දෙන්න.

විශේෂයෙන්ම ඔයා කාන්තාවක් නම්, මේ වගේ ප්‍රශ්නයකදී සිදුවන අපහසුතාවයන් ගැන කතා කරන්න පොලිසියේ මේ අංශය ගොඩක් උදව් කරනවා. හැම ප්‍රධාන පොලිස් ස්ථානයකම වගේ මේ ඒකකය තියෙනවා. එතන ඉන්න නිලධාරිනියක් එක්ක ඔයාට වඩාත් පහසුවෙන් මේ ගැන කතා කරන්න පුළුවන්.   

සාක්ෂි එකතු කරගන්න (Collect Evidence).

බය වෙච්ච පාරට ගොඩක් අය කරන්නේ අර බ්ලැක්මේල් කරන මැසේජ් ටික ඩිලීට් කරන එක. ඒක කරන්න එපා. ඔයාව බය කරන හැම මැසේජ් එකකම, වීඩියෝ එකක් ලීක් කරපු ලින්ක් එකකම Screenshots අරන් තියාගන්න. ඒ වගේම ඒ පුද්ගලයාගේ ෆෝන් නම්බර් එක සහ සෝෂල් මීඩියා ප්‍රෝෆයිල් ලින්ක් එක සේව් කරගන්න. නීතිමය පියවරක් ගද්දී මේවා තමයි ඔයාගේ ප්‍රධානම ආයුධ වෙන්නේ.   

විශ්වාසවන්තම කෙනෙක්ට මේක කියන්න.

මේ වගේ වෙලාවට තනියම හිතන්න ගියොත් වෙන්නේ බය වැඩි වෙලා මෝඩ තීරණ ගන්න එක. ඒ නිසා තමන්ට ඇත්තටම ආදරේ කරන, ප්‍රශ්නයක් වුණාම බනින්නේ නැතුව උදව් කරන එක යාළුවෙක්ට හරි, පවුලේ කෙනෙක්ට හරි මේක කියන්න. ප්‍රශ්නය බෙදාගත්තම හිතට දැනෙන බය ගොඩක් අඩු වෙනවා.   

“මචං… අරකිගේ වීඩියෝ එක දැක්කද?” - ඩිජිටල් ආදරයේ අඳුරු පැත්ත | Specail Announcement Dark Side Of Digital Love

Social Media වලින් පොඩ්ඩක් ඈත් වෙන්න (Digital Detox).

වීඩියෝ එකක් ලීක් වුණාම අපි හැමතිස්සෙම බලන්නේ “කවුද මේක දැක්කේ?”, “කවුද කමෙන්ට් කරලා තියෙන්නේ?” කියලා. ඒකෙන් වෙන්නේ මානසිකව තවත් වැටෙන එකයි. ඒ නිසා ටික දවසකට FB, Instagram, WhatsApp අයින් කරලා ඉන්න. ඔයා ඒ දිහා බල බල ඉන්න එකෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ, ඔයාගේ හිත තවත් පිස්සු වැටෙන එක විතරයි වෙන්නේ.   

වෘත්තීය උපදේශනයක් (Counseling) ලබාගන්න.

මේක ලංකාවේ ගොඩක් අය කරන්න ලැජ්ජ වෙන දෙයක්. හැබැයි මේ වගේ ලොකු මානසික කඩාවැටීමකදී උපදේශකයෙක් එක්ක කතා කරන එක ගොඩක් වැදගත්. 1926 (සමස්ත ලංකා මානසික සෞඛ්‍ය උපකාරක සේවය) වගේ අංකයකට කතා කරලා ඔයාගේ හිතේ තියෙන බය සහ පීඩනය ගැන නොමිලේම උපදෙස් ගන්න පුළුවන්.    

Gallery