බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනෙකු අභිරහස් ලෙස මියයෑම ගැන විමර්ශනයක්
නයිජීරියාවේ නයිජර් ප්රාන්තයේ බන්ධනාගාරයක රඳවා සිටි සිරකරුවන් 33 දෙනෙකු අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.
වාර්තා වන පරිදි, එරට ක්රියාත්මක වන නීති විරෝධී පතලක සේවය කළ පුද්ගලයන් 65 දෙනෙකු ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් ප්රාදේශීය බන්ධනාගාරයක රඳවා සිට ඇත.
බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත්තේ එම පිරිසෙන් 33 දෙනෙකු පසුව මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණයට හේතුව ලෙස අභිරහස් රෝගී තත්ත්වයක් සැක කරන බවද නිලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත්, කුඩා බන්ධනාගාරයක අධික තදබදයක් පැවතීම හේතුවෙන් සිරකරුවන් පිරිසක් හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්ව මියයන්නට ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත මරණ හේතුව තහවුරු කර නොමැති අතර, නයිජීරියානු බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව වාර්තා වේ.