සෞඛ්‍යය අංශයේ නව පෙරළියක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300කට සැලසුම්
සුවපත් රටක් උදෙසා ජාතික වැඩපිළිවෙළ යටතේ මේ වසර ඇතුළත දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 300ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික වැඩසටහනේ ආරම්භක අදියර යටතේ සමස්ත සුවතා මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරීමට නියමිතය.
එමෙන්ම ඉදිරි සැලසුම් ලෙස 2027 වසරේදී මධ්‍යස්ථාන 450ක් සහ 2028 වසරේදී තවත් මධ්‍යස්ථාන 250ක් බැගින් ආරම්භ කරමින් මෙම ඉලක්කය සපුරා ගැනීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, රෝග සඳහා ප්‍රතිකාර කිරීම, රෝග පුනරුත්ථාපනය සහ සහන වෛද්‍ය සේවාව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ශක්තිමත්ව ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ජාලය රට පුරා ව්‍යාප්ත කරනු ලබයි.