කොළොන්නාවෙන් කඩු ඇතුළු තියුණු ආයුධ 10ක් - සැඟවුණු ජාලයක තොරතුරු එළියට

Report

ආමි සම්පත්ගේ ගෝලයෙකුගේ නිවසකින් තියුණු ආයුධ දහයක් සොයා ගනී. මිරිහාන–නුගේගොඩ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම විසින් කොළොන්නාව ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී සිදුකළ වැටලීමකදී මෙම ආයුධ සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, දැනට සැඟව සිටින “සිරාශ්” නමැත්තාගේ අනුගාමිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂත්වය වන්නේ ඔහු සිරාශ්ගේ නිවසේදීම පොලිස් භාරයට ගැනීමයි.

එම අවස්ථාවේදී කඩු 5ක්, මන්නා පිහි 3ක් ඇතුළු තියුණු ආයුධ 10ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මොවුන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙලෙස සංවිධානගත වී ඇති බව පැවසේ. ඒ අනුව කොම්පඤ්ඤවීදිය ඇතුළු ස්ථාන කිහිපයක කපාකොටා ඝාතන කිරීමට තැත් කිරීමේ සිද්ධීන් කිහිපයක්ද සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් නිලධාරී ජේ.පො.අ. මංගල දෙහිදෙනිය මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර ඇත.

මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ මිරිහාන සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම භාර එස්.අයි ඉසුරු මහතා ඇතුළු කණ්ඩායම විසිනි.