ජනපති සටනේ පොදු අපේක්ෂකත්වයට 07ක් පොරකයි..පොහොට්ටුවෙනුත් එක් අයෙක්.

Sri Lanka Election Political Candidate Samagi janabalawegaya
By Aruna Dec 19, 2021 03:36 AM GMT
Aruna

Aruna

Report

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් පොදු අපේක්ෂයෙකු වීමට සැලසුම් සකස් කරයි ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට හත්දෙනකු සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික සමගි ජනබලවේගයේ පමණක් මන්ත්‍රීවරුන් සිව්දෙනකු ඒ සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව සකස් කරමින් සිටීති.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ගැන එම පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබූ සුළු පක්ෂයක මන්ත්‍රීවරයකුද ජනාධිපතිවරණයට තරග කිරීමට සැලසුම් සකස් කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අයෙකු හා 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සන්ධාන ගොඩ නගා ඇති දෙදෙනා අතර මේ වන විට සීතල සටනක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මාධ්‍ය හමුවේ දී පැවසුවේ තමන්ට ආරාධනාවක් ලැබුණහොත් පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සහාය බලාපොරොත්තු වන දෙදෙනකු අතර ද මේ වන විට අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගැටුම් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින පැරැණිතම සාමාජිකයා තමන් බැවින් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහාය තමන්ට හිමි විය යුතු බවට එක් අයෙක් පවසා ඇත.

මේ අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයකුද මේ වන විට ආණ්ඩුවේ මතවාද සමග ගැටෙමින් වෙනත් දේශපාලන මාවතක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඔහුද ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සැලසුම් සකස් කර තිබේ.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා දැන් සිටම සූදානම් වන බව වාර්තාවේ.

මොවුන් සියලු දෙනා විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now