ලෝක අලි දිනය අදයි – වනඅලි ඇතුන්ට ප්‍රබල තර්ජනයක්
පාරිසරික පද්ධතියේ සුවිශේෂී සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ වැදගත් පුරුකක් වන අලීන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳ ලෝක අවධානය යොමුව ඇති පසුබිමක මෙවර ලෝක අලි දිනය සැමරේ.
පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ වසර ගණනාවක් පුරා මෙරට සිදු වූ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින්ගේ සංචරණ මාර්ග සහ අලි මංකඩ අවහිර වීමෙන් අහිතකර පාරිසරික බලපෑම් රැසක් ඇතිවී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වී තිබුණද, අලි-මිනිස් ගැටුම මේ වනවිටත් දැඩි අවධානයක් යොමු කළ යුතු ගැටලුවක් බව පරිසර අංශ පෙන්වා දෙයි. වාර්තා අනුව වසරකට වනඅලි 400කට අධික සංඛ්‍යාවක් මියයන අතර, අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිනිස් ජීවිත 200කට ආසන්න සංඛ්‍යාවක් ද අහිමි වේ. මෙම වසරේ මේ දක්වා වනඅලි මරණ 180ක් සහ මිනිස් මරණ 56ක් වාර්තා වී තිබේ.
එම වනඅලි මරණ අතරින් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමක පවතී. වෙඩි තැබීමෙන් වනඅලි 30කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් 23ක් සහ හක්කපටස් භාවිතයෙන් 19ක් මියගොස් ඇති බව සඳහන් වේ.
අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් ලෙස මිනිසුන් සහ වනඅලීන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් හවුලේ භාවිත කිරීම ද පෙන්වා දී තිබේ. මෙම ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අදාළ පාර්ශ්ව අවධාරණය කරයි.
මේ අතර, ඊයේ (11) සවස අඹන්පොල පොලිස් වසමේ නැලව ප්‍රදේශයේදී වනඅලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කළේ තම කුඹුරට පැමිණි වනඅලීන් පළවා හැරීමට උත්සාහ කිරීමේදී ඔහු වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.