දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් ලොක්කන් මහ නාහිමිවරුන් ඉදිරියේ දණින් වැටුණු හේතුව මෙන්න..(PHOTOS)
'පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ පත් කළ ජනාධිපති කොමිසම මගින් ලබා දී තිබෙන තීන්දුව මගින් පොලිස් නිලධාරීන් පිරිසකට බරපතළ අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවැරදි කිරීම සඳහා මැදිහත් වන ලෙසත්' ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් අස්ගිරි මහ විහාරයට පැමිණ එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන්ට ලිපියක් භාර දුන්හ.
අප වාර්තාකරු සඳහන් කළේ, අද (අගෝස්තු 19) දින අස්ගිරි මහ විහාරයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන්, නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මහ නායක හිමියන්ට අදාළ ලිපිය භාර දුන් බවය.
'ජනපති කොමිසම මගින් ලබා දී තිබෙන තීන්දුව හේතුවෙන් යුද සමයේ සිට දිවි හිමියෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට රැකියාව ද විශ්‍රාම වැටුප ද අහිමිව නිරපරාදේ මහ උළු ගෙදර තපින්නට සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබෙන බව' මෙම පිරිස මහ නාහිමියන් හමුවේ සඳහන් කළ බව අප වාර්තාකරු පැවසීය. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහ නාහිමියන් හමුවේ මෙසේ පැවසීය.
"පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධ අංශයත් භාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ල ම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබා දුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබා දී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිම වී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස්වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමග ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.අයි.එස්. වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ.
සම්පූර්ණ සාමාකාමී වාතාවරණක් රටේ පැවතුණා. ඒ වාතවරණය තුළ සිදු වූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300 ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථානවලත් සිදුවුණා. ඇමරිකාවට පවා ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කර ගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ. තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ විශාල පිරිසකට මේ කොමිසම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහය දුන් නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.''
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා මෙසේ පැවසීය.
"අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා.නඩු කටයුත්තකට කිසිදු බාධාවක් නැහැ. ඕනෑ ම අවස්ථාවක අපි වගකීමෙන් බැඳී ඉන්නවා සාක්කි ලබාදීමට. නඩුවෙන් ඉවත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපිට දුන්න අසාධාරණ තීන්දුව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ. අධිකරණයට අපිව පමුණුවන්න හදනවා අසාධාරණ ලෙස. යහපාලන රජය ජනපති කොමිෂන් සභාවක් පත්කරලා වගකීමෙන් නිදහස් වෙන්න අපිව වැරදිකාරයෝ කරන්න හදනවා. මේ වෙලාවේ නඩු පැවරුවාට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. නඩු පැවරුවාට පස්සේ අපි හැමෝට ම රස්සාව අහිමි වෙනවා.
වැටුප් නැති වෙනවා. එදාට මහ නායක හිමිවරු මුණ ගැහෙන්න එන්නවත් ලැබෙන්නේ නැහැ. අපි වරදක් කරලා නැහැ. අපි කළ එක ම වරද එදා දවසේ රාජකාරී කළ එකයි. එදා රාජකාරි නොකළා නම් අපිට මෙහෙම දේවල් අත්විඳින්න වෙන්නේ නැහැ. අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයේදී රාජකාරී කරලා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරී කරන කණ්ඩායමක් අපි. අද මෙතනට ආවේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරී කරලා ඒ රාජකාරී කරපු එක වරදක් බවට පත්ව එල්ලුම් ගහ හරි මහ උළු ගෙදර හරි නැත්නම් රැකියාව නැති වෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වා ගන්නයි. අපි මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දැකලා දළදා වහන්සේට කන්නලව් කරලා රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියලා ඉල්ලනවා."
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අවස්ථාවට මුලතිව් සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාරසේකර, කටාන හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න ඇතුළු චෝදනාවට ලක්ව සිටින පොලිස් නිලධාරීන් 30 දෙනකු පමණ සහභාගී වී සිටි බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




