වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - ඉදිරියට වෙන්න යන දේ ගැන දැනුම්දීමක්
ශ්‍රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, එමඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.