අවදානම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 10, 2021 12:28 PM GMT
Report

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 

 සබරගමුව පළාතෙන් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

ඒ අනුව දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24 කට අයත් පවුල් 1,403 ක පුද්ගලයින් 5,777 ක් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණයක් ද වාර්තා වී ඇත. මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක පවුල් 16 කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු රැඳීසිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි