''සීනි සහ ලුණු අධික රසකාරක අනතුරු ලේබල් ඇලවිමේ ඉන්දියාවේ සැලසුම'' - සමාගම්වල යට උනාද?

Report

සීනි, ලුණු සහ මේදය අධික ආහාර සඳහා ඇසුරුම්වල ඉදිරිපස පැහැදිලි අනතුරු ඇඟවීම් යෙදීමට ඉන්දියාව ගෙන ගිය සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල දැඩි විරෝධය හමුවේ දුර්වල වී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා හා ප්‍රමිති අධිකාරිය (FSSAI) විසින් ඇසුරුම්වල ඉදිරිපස වර්ණ කේත සහිත අනතුරු ඇඟවීම් හඳුන්වාදීමට උත්සාහ කර තිබුණද, මාර්තු මාසයේ පැවති උණුසුම් සාකච්ඡාවකදී කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන් එවැනි ලේබල් පාරිභෝගිකයන්ට ව්‍යාකූල බවත්, ඒවා ඵලදායී නොවන බවත් තර්ක කර තිබේ.

රොයිටර්ස් විසින් ලබාගත් එම සාකච්ඡාවේ ශ්‍රව්‍ය පටිගත කිරීම් අනුව, සමාගම් නියෝජිතයන් අනතුරු ඇඟවීම් වෙනුවට ආහාර ප්‍රමාණය පාලනය කිරීම පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පවසා ඇත.

ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ටත් ඇමරිකානු සම්බාධක අවදානමක් - ඉරාන “ආර්ථික හුස්ම හිරකිරීමකට” ට්‍රම්ප්ගේ සූදානමක්

ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ටත් ඇමරිකානු සම්බාධක අවදානමක් - ඉරාන “ආර්ථික හුස්ම හිරකිරීමකට” ට්‍රම්ප්ගේ සූදානමක්

ඉන්දියාවේ Fanta සහ යුරෝපයේ Fanta අතර වෙනස

එම වාර්තාව පෙන්වා දෙන්නේ එකම වෙළඳ නාමයේ ආහාර සහ පාන වර්ග රටින් රටට වෙනස් සංයෝජනවලින් අලෙවි වන ආකාරයයි. උදාහරණයක් ලෙස, ලන්ඩනයේ අලෙවි වන Fanta කෑන් එකක කැලරි 63ක් පමණ තිබුණද, ඉන්දියාවේ අලෙවි වන එම පානයේ සීනි ප්‍රමාණය තුන් ගුණයකට ආසන්න බව සඳහන් වේ.

යුරෝපයේ ඇතැම් ආහාරවල භාවිත කරන කෘත්‍රිම වර්ණක සඳහා ප්‍රමුඛ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් අවශ්‍ය වුවද, ඉන්දියාවේ එවැනි තොරතුරු ඇසුරුමේ පිටුපස කුඩා අකුරින් පමණක් සඳහන් කරන බවද වාර්තාවේ දැක්වේ.

Coca-Cola සහ Nestlé ඇතුළු සමාගම්වල මතය

මාර්තු 19 වැනිදා පැවති සාකච්ඡාවේදී Coca-Cola India හි ජ්‍යෙෂ්ඨ නිලධාරිනී මිලී භට්ටාචාර්ය පැවසුවේ, දැනටමත් ආහාර ලේබල් කියවීමට පුරුදු නැති පාරිභෝගිකයෙකු ලේබලයක සංකේතයක් දැකීමෙන් පමණක් සිය ආහාර පුරුදු විශාල වශයෙන් වෙනස් කරනු ඇතැයි සිතීම “ඉතා සරල” අදහසක් බවයි.

කෙසේ වෙතත්, Coca-Cola හි ඇතැම් යුරෝපීය වෙළෙඳපොළවල රථවාහන සංඥා ආකාරයේ වර්ණ ලේබල් ස්වේච්ඡාවෙන් භාවිත කරන බවද රොයිටර්ස් පෙන්වා දෙයි. Nestlé සමාගමද ඉන්දියාවේ යෝජිත ලේබල් ක්‍රමයට විරුද්ධ වූ කර්මාන්ත සංවිධාන සමඟ සම්බන්ධ වී සිටින අතර, එම සමාගම බ්‍රිතාන්‍යයේ 2013 වසරේ සිට මෙවැනි තොරතුරු සහිත ඉදිරිපස ලේබල් ස්වේච්ඡාවෙන් භාවිත කරයි.

ඉන්දියාවේ සෞඛ්‍ය ගැටලුව

ඉන්දියාවේ ඇසුරුම් කළ ආහාර හා පාන වෙළෙඳපොළේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 100කට අධික වන අතර, එහි නිෂ්පාදනවලින් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් සීනි, ලුණු සහ මේදය අධික ආහාර ලෙස සැලකිය හැකි බව කර්මාන්ත ඇස්තමේන්තු පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ පැහැදිලි ඉදිරිපස ලේබල් මගින් පාරිභෝගිකයන්ට සෞඛ්‍ය සම්පන්න තේරීම් කිරීමට පහසු වන බවයි. මේ වනවිට රටවල් 20කට ආසන්න සංඛ්‍යාවක් සීනි, ලුණු සහ මේද ප්‍රමාණය වර්ණ හෝ සංකේත මගින් පෙන්වන ලේබල් ක්‍රම හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ සෞඛ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර ඇති අතර, අධිකරණයද අනතුරු ඇඟවීම් සහිත ලේබල් ක්‍රම සම්බන්ධයෙන් සලකා බලන ලෙස නියාමකයන්ට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, කර්මාන්ත නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව FSSAI එවැනි වර්ණ කේත සහිත අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පසුබැස තිබේ.

පාරිභෝගික ක්‍රියාකාරීන්ගෙන් විවේචන

ඕස්ට්‍රේලියාවේ George Institute for Global Health ආයතනයේ ආහාර ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ සිමෝන් පෙටිග්‍රූ සඳහන් කරන්නේ, අනතුරු ඇඟවීම් සමාගම්වල ලාභයට බලපෑම් කළ හැකි බැවින් කර්මාන්තය එවැනි නීති ක්‍රියාත්මක වීම හැකි තරම් ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස්ද ඉන්දියාවේ සැකසූ හා ඇසුරුම් කළ ආහාරවල අන්තර්ගතය පිළිබඳව වැඩි විනිවිදභාවයක් ඉල්ලා සිටිති.

ඒ අතරින් Food Pharmer නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇති රෙවන්ත් හිමත්සිංකා ඉන්දියාවේ අලෙවි කරන ආහාර හා විදේශ රටවල අලෙවි කරන එම නිෂ්පාදන අතර ඇති සංයෝජන වෙනස්කම් පිළිබඳවද වීඩියෝ පළ කර තිබේ.

උදාහරණයක් ලෙස, ඉන්දියාවේ අලෙවි වන KitKat වල කොකෝවා ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ අනුවාදයට වඩා සැලකිය යුතු ලෙස අඩු බවත්, ඉන්දියාවේ Maggi නූඩ්ල්ස් නිෂ්පාදන සඳහා පාම් තෙල් භාවිත කළද බ්‍රිතාන්‍යයේ ඇතැම් අනුවාද සඳහා වඩා මිල අධික සූරියකාන්ත තෙල් භාවිත කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.

මෙවැනි වෙනස්කම් හේතුවෙන් ඉන්දීය පාරිභෝගිකයන් අතර තමන්ට “අඩු ගුණාත්මක නිෂ්පාදන ලබාදෙන බවට” හැඟීමක් ඇතිවී තිබෙන බවද ඔහු පවසයි. මේ අතර, පාරිභෝගික ඉල්ලීම් සහ විවේචන හමුවේ ඇතැම් සමාගම් තම නිෂ්පාදන වෙනස් කිරීමටද පියවර ගනිමින් සිටී.

Nestlé සමාගම 2024 වසරේදී ඉන්දියාවේ සීනි රහිත Cerelac අලෙවි කිරීමට පියවර ගත්තේ ඒ සඳහා වූ දිගුකාලීන විවේචනවලින් අනතුරුවය.    

ලොව විශාලතම මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල බෙයිජිං නුවරදී- රටවල් 16කින් රොබෝවරුන් 2,000ක් එකම පිටියට

ලොව විශාලතම මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල බෙයිජිං නුවරදී- රටවල් 16කින් රොබෝවරුන් 2,000ක් එකම පිටියට