විශාල විනාශයක් - පාසලක් ඇතුළු නිවාස රැසකට හානි
වාරියපොල ප්‍රදේශයට ඊයේ (21) රාත්‍රී බලපෑ ප්‍රබල සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රධාන පාසලකට සහ නිවාස 20කට අධික සංඛ්‍යාවකට දැඩි දේපොළ හානි සිදුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම ස්වාභාවික ආපදාවෙන් වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පාසල් භූමියේ තිබූ විශාල ගස් තුනක් දෙමහල් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි වහලයට සහ ගොඩනැගිල්ලට විශාල හානියක් සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව, වාරියපොල පොලිසිය අසල පිහිටි නිවාස කිහිපයකට ද, මැල්වත්ත සහ සුමංගල මාවත යන ප්‍රදේශවල නිවාස රැසකට ද සුළඟින් හානි සිදුව ඇත.
විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.