අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය සඳහන් කරන පරිදි, ප්‍රේමලාල් ජයසේකර මහතා සිය පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට පැමිණි තවත් පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇති වී තිබේ.
එම ආරවුල දුරදිග යාමේදී හිටපු මන්ත්‍රීවරයා තමා සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා අදාළ පිරිසට තර්ජනය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු සතුව තිබූ එම ගිනි අවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරේදී කල් ඉකුත් වී ඇති බවයි.
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ සාපරාධී තර්ජනය කිරීම යන චෝදනා යටතේ නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.