මත්තලදී නිදන් හෑරූ දෙදෙනෙක් STF එකට මාට්ටු
මත්තල පොලිස් වසමට අයත් මහඅලුත්ගම්ආර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික මල්අස්නාගල පුදබිම ආසන්නයේ රහසිගත ලෙස නිදන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට, පන්වැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
මෙම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමිය තුළ සිදුවීමට ගිය විනාශය පිළිබඳව පොලිස් විශේෂ කාර්යාංශය වෙත ලැබුණු අතිශය විශ්වාසවන්ත රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව ඇඹිලිපිටිය පාර සහ සූරියවැව වැවේගම යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 52 සහ 58 යන පසුවන වයස්ගත පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් විසින් අදාළ පූජනීය භූමිය ආසන්නයේ පොළොව කැණීම සහ ගල් පිපිරවීම සඳහා යොදාගත් වෙඩි බෙහෙත්, ඩෙටනේටර් කම්බි සහ වයර් ඇතුළු උපකරණ රැසක් ද වැටලීම සිදුකළ ස්ථානයේ තිබී නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස නිදන් හෑරීමේ නිරත වූ මෙම සැකකරුවන් දෙදෙනාව සහ ඔවුන් සන්තකයේ තිබූ උපකරණ සියල්ල ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්තල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මත්තල පොලීසිය විසින් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.