සංචාරකයන්ට මෙහෙම කරොත් වැඩ වරදියි
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අවිධිමත් අයුරින් නවාතැන් සපයන 40,000 කට අධික පිරිසක් සිටින නමුත් විධිමත් ලෙස කටයුතු කරනු ලබන්නේ 9,000 ක් වැනි පිරිසක් බවත් අනීතික ලෙස සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පැවසීය.
ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
වසරේ සෑම කාලයකම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලෝක මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් මේ මාසයේ සිට ආරම්භ කරන බවත් ඒ අනුව දැනට සංචාරකයන් මෙරටට අඩුවෙන් පැමිණෙන කලාපවල ප්‍රවර්ධන කටයුතු මේ වන විට සිදු කෙරෙන බවත් ඔහු පැවසුවේය.
විශේෂයෙන් මැදපෙරදිග කලාපය, ඔස්ට්‍රේලියාව, ආසියා පැසිෆික් කලාපය සහ යුරෝපය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙන බවද ඔහු පැවසීය. ඒ අනුව සෑම මාසයකම සංචාරකයන් 250,000 ක් හෝ ඊට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
දැනට ලංකාවට පැමිණෙන සංචාරකයෙක් මෙරට තුළදී වියදම් කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 171 ක් බවත්, එය ඩොලර් 200 ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය.
අවිධිමත් ලෙස සංචාරක ව්‍යාපාරයේ නිරත සේවා සපයන්නන් විධිමත් කිරීම සඳහා මේ වසරේදී කටයුතු කරන බවත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව සැපයීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
