ආයේ මේ අයට ඇමරිකාවට යන්න බෑ - රටවල් 6කට තහනම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මඟින් සංචාරක සීමාවන් තවත් රටවල් 20ක් සහ පලස්තීන අධිකාරිය දක්වා පුළුල් කළ බවට නිවේදනය කර ඇත.
එබැවින් එය වසරේ මුලදී ප්‍රකාශයට පත් කරන ලද පුළුල් සීමාවන් බලපාන රටවල් සංඛ්‍යාව දෙගුණ කිරීමක් වේ.
මෙම නව තහනමෙන් අමෙරිකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් පහක් සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලේඛන මත සංචාරය කරන්නන් ද ඇතුළත් කර තිබෙනවා.
එසේම තවත් රටවල් 15කට නව සීමාවන් ද පනවා ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ බුර්කිනා ෆාසෝ (Burkina Faso), මාලි, නයිජර් (Niger), දකුණු සුඩානය, සිරියාව සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද සංචාරක ලේඛන සහිත පුද්ගලයින්ට මෙසේ සම්පූර්ණයෙන් අමෙරිකාව තහනම් කර ඇති බවයි.
එමෙන්ම ඇන්ගෝලාව (Angola), ඇන්ටිගුවා සහ බාබුඩා (Antigua and Barbuda), බෙනින් (Benin), අයිවරි කෝස්ට් (Ivory Coast), ඩොමිනිකා (Dominica), ගැබොන් (Gabon), ගැම්බියාව (Gambia), මලාවි, මොරිටානියාව (Mauritania), නයිජීරියාව, සෙනෙගාලය (Senegal), ටැන්සානියාව, ටොංගා (Tonga), සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවලට අර්ධ වශයෙන් මෙම සීමා පනවා ඇත.
කෙසේ වෙතත් මෙම පියවර මඟින් අමෙරිකාවට සංචාරය කිරීමට හෝ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සීමා පැනවීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, විචාරකයින් සඳහන් කරන්නේ එය පුළුල් පරාසයක රටවල ජනතාවගේ සංචාර අසාධාරණ ආකාරයට වළක්වන බවයි.
මේ අතර ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කළ පරිදි, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට පනවා ඇති සම්පූර්ණ තහනම සහ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියෝන්, ටෝගෝ, තුර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවලට පනවා ඇති සීමාවන් එලෙසම පවතින බව සඳහන්.
එසේම ලාඕසය සහ සියරා ලියෝන් සඳහා පනවා තිබූ සීමා මේ වන විට සම්පූර්ණ තහනමක් දක්වා නිවේදනය කර ඇති අතර, තුර්ක්මෙනිස්තානය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර ඇත.