"ලොකු සර් පොලීසියට ගේන්න කිව්වා කියලා කෑගල්ල ස්ටේෂන් එක ගාවදීම සෙල්ලම දාලා- ව්‍යාජ CID කල්ලියේ භීෂණය මෙන්න

Report

පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වසර තුනකට අධික කාලයක් දිවයිනේ පොලිස් කොට්ඨාස 15කට අයත් ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ සහ දේපළ වංචා කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. සැකකරුවන් උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 44 සහ 45 වන පුද්ගලයන් තිදෙනෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොවුන් විවිධ ප්‍රදේශවල තනිව ගමන් කරන පුද්ගලයන් සහ මාර්ගයේ නවතා තිබූ වාහන ඉලක්ක කර ගනිමින්, පොලිස් හෝ සීඅයිඩී නිලධාරීන් ලෙස හඳුන්වාදී විවිධ චෝදනා ඉදිරිපත් කර පරීක්ෂා කිරීමේ මුවාවෙන් ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ පැහැරගෙන ඇති බවයි.

එමෙන්ම, නිවාස පරීක්ෂා කරන බව පවසා නිවැසියන් එක් ස්ථානයක රඳවා තබා නිවෙස් තුළ තිබූ මුදල්, රන් භාණ්ඩ සහ වටිනා දේපළ ද කොල්ලකා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

2023 වසරේ සිට පේරාදෙණිය, මහනුවර, කොළඹ කොම්පඤ්ඤවීදිය, ග්‍රෑන්ඩ්පාස්, මාවනැල්ල, නාරම්වල, පිළිමතලාව, දවුලගල, ගම්පොළ, ගලහා, කෑගල්ල සහ කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ රැසක මෙම අපරාධ සිදුකර ඇති බව පොලිසිය පවසයි.

එක් අවස්ථාවකදී කෑගල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවට පෙන්වමින්, "ලොකු සර් පොලීසියට මේ අය ගේන්න කිව්වා" යැයි හඬනඟා ඔවුන් කෑගල්ල පොලිස් ස්ථානය ආසන්නයටම රැගෙනවිත්, පසුව ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ සිදුවූ මෙවැනි මංකොල්ලයකින් අනතුරුව ලද බුද්ධි තොරතුරු මත පේරාදෙණිය නගරයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සෙසු සැකකරුවන් දෙදෙනා පිළිමතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් තිදෙනා හෙරොයින් සහ මත්පෙතිවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අතර, කොල්ලකෑම්වලින් උපයාගත් මුදල්වල වැඩි කොටසක් එම මත්ද්‍රව්‍ය සඳහා වැය කර ඇති බවයි. කොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර විවිධ නගරවල අලෙවි කර ඇති බවද, මහනුවර නගරයේ ස්ථානයකින් එලෙස උණුකරන ලද රන් භාණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබූ ත්‍රිරෝද රථයක්, පිහියක්, මත්පෙති තොගයක් සහ උණුකරන ලද රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.