රොටුඹ පෙම්වතාගේ ඝාතනය ගැන ආන්දෝලනාත්මක කතාවක්
රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේදී පසුගියදා ඝාතනයට ලක්වූ කහවත්ත, පනාපිටිය, පොතුවිල ලිපිනයේ පදිංචිව සිටි සුදත් ප්‍රසන්න නැමති 32 හැවිරිදි දෙදරු පියාගේ මරණය මොළයට හා පෙණහැල්ලට සිදු වූ හානි හේතුවෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා කහවත්ත සිය නිවෙසේ සිට ඔහුගේ ත්‍රිරෝද රථයෙන් තවත් හිතවතකු සමඟ රොටුඹ, නාවලේ, දන්ලන්දහේන ප්‍රදේශයේ නිවෙසක සිටින සිය පෙම්වතිය හමුවීමට පැමිණ ඇති අතර, ත්‍රිරෝද රථයෙන් අදාළ නිවෙසට යා නොහැකි බැවින් ඔහු සමඟ පැමිණි පුද්ගලයා ත්‍රිරෝද රථය නතර කර ඔහු පමණක් නිවෙසට ගොස් තිබෙනවා.
තරුණිය නිවසේ නොසිටි බැවින් ඒ පිළිබදව තරුණියගේ මවුපියන් සමඟ බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී සිය පෙම්වතිය ඉන්නා තැනක් හෝ නතර කර සිටින තැනකින් ගෙනත් දෙන්න කියාත්, එසේ නැතිනම් පවුලේ සියලු දෙනා මරා දමන බවටත් ඔහු තර්ජනය කර ඇති බවත්, එහිදී සිදු වූ ආරවුලකදී පිහියකින් හා උදැල්ලකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබූ බවත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බවත් පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ පියා හා මියගිය පුද්ගලයා සමඟ පැමිණි පුද්ගලයා සාක්ෂි ලබා දුන් අතර ඝාතනයට ලක්වූ හේවා පැලෑන්ද විදානගේ සුදත් ප්‍රසන්න (39) යන අයගේ පියා වන හේවා පැලෑන්ද විදානගේ ඉන්ද්‍රදාස (65) සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්,
''මිය ගොස් සිටින්නේ මගේ දෙවැනි පුතා. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මියගිය පුතාට වැඩිමහල් අයියා කෙනෙක් හා නංගි ඉන්නවා. පුතාට වයස අවුරුදු 9 හා 13ක දියණියක හා පුතකු සිටිනවා. ඉකුත් 05 දින උදේ 5.00ට විතර පුතා ලෑස්ති වෙලා ගමනක් යන්න තියෙනවා කියල දරුවෝ දෙන්නට කිව්වා පුතාල ඉස්කෝලේ යන්න කියලා. දරුවෝ ඇහුවා තාත්ත අපි ඉස්කෝලේ ඇරිලා එන්න ඉස්සර වෙලා එනවාද කියා. පුතා කිව්වා එනවා කියලා. එහෙම කියලා තමයි ගෙදරින් ගියේ. දවල් ආරංචි වුණා පුතා මරලා දාල කියලා. මීට අවුරුදු 06කට විතර ඉස්සර දවසක ඔය යාළුවෙලා ඉන්න ගැහැනු ළමයා අපේ පුතත් එක්ක කහවත්තේ අපේ ගෙදරට ආවා.
ඒ ආව වේලාවේ තමයි පුතාගේ බිරිය පුතත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියේ. බිරිය එදා ගෙදරින් ගියාට පස්සේ අයිමත් ආවේ නැහැ. පසුගිය කාලයේ ආරංචි වුණා අවුරුදු තුනක් වෙනවා විදේශගත වෙලා කියලා. ගැහැනු හිතන්න ඕන බැඳපු මිනිහෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තම වෙන විනාශය. ඔය බලන්න ගිය ගැහැනු ළමයා දන්නවා මගේ පුතා බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එහෙම දැන දැනත් තමයි මගේ පුතා ඒ ගෙදරට ගෙන්න ගෙන තියෙන්නේ. ඒකෙන් වුණේ දැන් දරුවෝ දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණු එකයි.''
මියගිය පුද්ගලයා සමඟ ත්‍රිරෝද රථයෙන් පැමිණි වී.එච්. ප්‍රදීප් කුමාර (38) යන අය සාක්ෂි ලබා දුන්නේ මෙලෙසින්,
''සුදත් අයියා මට පසුගිය 04 වැනිදා කතා කරලා කිව්වා හෙට උදේම එන්න අවශ්‍යතාවයකට ඇඹිලිපිටියට යන්න තියෙනවා කියලා. මම උදේ ආවම කිව්වා ත්‍රිරෝද රථයෙන් යමු කියලා. ඇඹිලිපිටියට ආවට පස්සේ කිව්වා මම යාළු වෙලා ඉන්න නංගි හමුවෙන්න පස්ගොඩට යන්න ඕන කියලා. මම කවදාවත් ඇවිත් නැහැ මේ පැත්තට . එදා තමයි මුල්වතාවට ආවේ. ඇඹිලිපිටියේ ඉඳලා මම එන්න දන්නේ නැහැ. සුදත් අයියා තමයි මේ පාරෙන් යන් කියලා පාර කියලා දුන්නේ. ඒ නංගිගේ ගෙදරට යන්න තියෙන්නේ ලොකු කන්දක. මට කිව්වා ත්‍රීවිලරයේ ඉන්න කියලා මම ගිහින් එනකන්. සුදත් අයියා ගිහිල්ලා පැය එකහමාරක් විතර ආවේ නැති නිසා කෝල් එකක් දුන්නා. ෆෝන් එක වැඩ නැති නිසා මම ඔහු ගිය ගෙදර සොයාගෙන ගියා. ඒ යන කොට නිවෙසක් අසල කීප දෙනෙකු හිටියා.
මම බය වුණා මොකක් හරි කලබලයක් කියලා. මම ආපසු එන්න එනකොට පොලිසියෙන් ආවා. මම පොලිසියත් එක්ක ගියා ඒ යනකොට සුදත් ලේ ගලමින් බිම වැටිල හිටියා. පොලිසියේ අය කිව්වා පණ තියෙනවා ඉක්මනට රෝහලට අරන් යන්න කියලා. ඊට පස්සේ උස්සලා ත්‍රිරෝද රථයට දාගෙන ටික දුරක් යනකොට 1990 ගිලන් රථය ආවා. පස්සේ ගිලන් රථයට දාගෙන රෝහලට ගෙන ගියා. වෛද්‍යවරු කිව්වා මැරිලා කියලා.''
රොටුඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. බන්දුල ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේරත්න, සැරයන් දයානන්ද යන මහත්වරුන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා ගැනීම සිදු කළා.
