18 වැඩි ඔබ කළ යුතුම දෙයක් ගැන තවත් තොරතුරු...
ලක්ෂ 10 ඉක්මවූ පිරිසක් මේ වනවිට බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා මේ බව සඳහන් කළේ "Big Focus" වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ ජනවාරි 01 වනදාට 437,547යි. අද වෙනකොට ලක්ෂ 10 ඉක්මවලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ආදායම් විශමතාවයක් තියෙනවා. මේ ආදායම් බෙදී ගිහින් තිබෙන ආකාරය බැලුවොත් ඉහළම ආදායම් ලබන කණ්ඩායම 20%ක් විතර ඉන්නවා. ඒ කණ්ඩායමෙන් සමස්ත ආදායමෙන් 60% වඩා බෙදිලා තිබෙනවා."
"සියයට 20ක් කියලා කිව්වොත් පුද්ගලයන් ලක්ෂ 50ක් විතර. එතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුන ගැනීම. මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ."
එනම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බවයි.
මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.
ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කළ හැකිය.
මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතුය. ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත. මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් ය.
Sponsored By Sarrita Jewellery
