විදුහල්පති ගැහුවද? දරුවා දවස් ගාණක් රෝහලේ - දෙමව්පියන් හඩා වැටේ
සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වී ඇත. එහිදී අදාළ සිසුවාගේ දෙමාපියන් පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
ඊට හේතුව අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම බව වාර්තා වේ. අදාළ පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 16 හැවිරිදි දරුවකු බවත් තොරතුරු වාර්තා වේ.
නමුත් සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධව පැමිණිල්ලක් සිදුකළ බව දරුවාගේ දෙමාපියන් පවසයි.
දරුවාගේ මව වැඩිදුරටත් සදහන් කරන්නේ දරුවෙකු වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු වුවද මෙලෙස අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් තමන් මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.